පළමුවන බණවර නිමි.
2. 9.
(වෙළඳ බමුණා අංකුර වෙළෙඳහට මෙසේ කියයි:)
258. වෙළෙඳාමෙන් ධනය රැස්කරන අපි යමක් සඳහා කාම්බෝජ රටට යන්නමෝ ද (ඒ කරුණ මෙහි දී ම සිදු වෙයි) මේ දෙවියා කැමති සම්පත් දෙන්නෙකි. (එහෙයින්) අපි මොහු ගෙන යමු.
259. කැමැත්තෙන් හෝ බලාත්කාරයෙන් හෝ මේ දෙවියා අල්වා යානයක නංවාගෙන වහා ද්වාරවතී නගරයට යමු.
260. යම් ගසක සෙවණෙහි (යමෙක්) හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද (හේ) ඒ ගසේ අත්තක් නො බිඳින්නේ ය. මිත්‍රද්‍රෝහය ලාමක ය.
(බමුණා:)
261. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද, ඉදින් ඔහුට එබඳු වැඩෙක් වේ නම් හේ ඒ ගසේ කඳ ද සිඳින්නේය.
(අංකුර:)
262. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ නම් හේ ඒ ගසේ කොළයකුදු නො බිඳින්නේය. මිත්‍රද්‍රෝහය ලාමක ය.
(බමුණා:)
263. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ නම් ඉදින් ඔහුට එබඳු වැඩෙක් වේ නම් හේ ඒ ගස සහමුලින් ම උදුරන්නේ ය.
(අංකුර:)
264. (යමෙක්) යම් පුද්ගලයකුගේ ගෙයි එක් රැයක් හෝ වෙසේ ද, යමකු සමීපයෙහි යම් පුරුෂයෙක් ආහාරපාන හෝ (යම්කිසි බොදුනක් හෝ) ලබන්නේ ද ඒ පුද්ගලයාට නපුරක් සිතිනුදු නො සිතන්නේ ය. කෘතඥභාවය වනාහි බුද්ධාදි උතුමන් විසින් වර්ණිත ද එහෙයිනි.
265. (යමෙක්) එකරැයක් හෝ යමකුගේ ගෙහි වසන්නේ වේ ද, ආහාරයෙන් පානයෙන් උපස්ථාන හෝ කරන ලද වේ ද හේ ඔහුට සිතින් හෝ නපුරක් නො සිතන්නේය. අහිංසක අත් ඇත්තේ ඒ මිත්‍රද්‍රෝහී පුද්ගලයා වනසයි.
266. යමෙක් (යම් පුද්ගලයකු විසින්) පෙර කරන ලද උපකාර ඇත්තේ පසු කලෙක ඒ උපකාර කළහු නපුරු ක්‍රියාවකින් පෙළා නම් (අල්ලපාණි) උපකාරකයා නසනලද ඒ පුරුෂ තෙමේ යහපත නො දකී.
267. යමෙක් තමාට ද්වේෂ නො කරන ලද (රාගාදී) කෙලෙස් නැති පිරිසිදු සිත් ඇති මිනිසකුට ද්වේෂ කරයි ද ඒ පාප කර්‍මය (තෙමේ) උඩු සුළඟට දමනලද සියුම් රජස් මෙන් ඒ නුවණ නැති ඔහු වෙත ම (විපාක වශයෙන්) ආපසු එයි.
(යක්‍ෂයා:)
268. මම දෙවියකු විසින් හෝ මිනිසකු විසින් හෝ නො මැඩලිය හෙමි. ආධිපත්‍යයෙකින් හෝ නො මැඩලිය හෙමි. මම උතුම් ඍද්ධියට පැමිණි වහා ඉතා දුරයනු සමත් රූසපුවෙන් ද, සිරුරු බෙලෙන් ද යුතු යක්‍ෂයෙම් වෙමි.
269. තොපගේ දකුණත හැමලෙසින් රන්වනැ. මිහිරිරස වැහෙන ධාරාපසක් ඇත්තේ ය. ඉන් නොයෙක් රස වැගිරෙයි. තොප සක් දෙවිඳු යයි මම සිතමි.