1. 3.
(නාරද තෙරණුවෝ මෙසේ විචාරති:)
7. තෝ දෙව්සිරුරට බඳු යහපත් සිරුරුපැහැ ඇත්තෙහි, අහසෙහි සිටින්නෙහි, එහෙත් පණුවෝ දුගඳ හමන තාගේ මුඛය සිදුරු කොට කති. පෙරදෑයෙහි (තෝ) කවර කර්මයක් කෙළෙහි ද?
(ප්රේතයා මෙසේ පිළිතුරු දෙයි)
8. මම පෙර දුෂ්ටවචනයෙන් යුත් වාග්ද්වාරයෙන් අසංවර වූ ශ්රමණවේශධාරී පවිටුමහණෙක් වීමි. බඹසර බෙලෙන් මාගේ ශරීර වර්ණය ලද. පිසුනුබසින් මා මුව දුගඳ විය.
9. නාරදයෙනි, ඔබ තමන් විසින් ම මා සිරුර දක්නා ලද. කාරුණික නිපුණ වූ බුද්ධාදි උත්තමයෝ යමක් ප්රකාශ කළාහු නම් මම එය ම ඔබට කියමි. පිසුනුබස් නො කියන්න. මුසාවා ද නො බණින්න. එකල්හි ඔබ කැමති සැප විඳින දෙවි වන්නහු යි.
පූතිමුඛ ප්රේතවස්තු යි.
1. 4.
10. නොමසුරු තැනැත්තේ යම්කිසිවක් අරමුණු කොට දන් දෙන්නේ ය. පෙර කලුරිය කළවුන් හෝ නැතහොත් ගෙවතු ආදියට අරක් ගත් දෙවියන් ඇරැබැ හෝ දන් දෙන්නේ ය.
11. වෛශ්රවණ ය, ධ්රතරාෂ්ට්ර ය, විරූපාක්ෂ ය, විරූඪය යන යශස්වී ලෝකපාලක සිවුවරම් දෙවියන් අරබයා හෝ දන් දෙයි. ඔවුහු ද පුදන ලද්දෝ වෙත්. දායකයෝ ද නිෂ්ඵල නො වන්නෝ වෙත්.
12. මළවුන් සඳහා හැඬීමක් ශෝකයක් හෝ එයින් අන්ය වූ විලාප කීමක් හෝ නො කළයුතු ය. කලුරිය කළවුන්ට ඒ ඇඬීම් ආදිය ප්රයෝජනය පිණිස නො වෙයි. එහෙත් එසේ කරන මඳ නුවණැති නෑයෝ ද සිටිත්.
13. දායකයා විසින් දුන් මේ දානය සංඝයා කෙරෙහි මනාව පිහිටියේ ය. මේ ප්රේතයාහට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස (දානවිපාකය) එකෙණෙහි ම පැමිණේ.
පිට්ඨධීතලික ප්රේතවස්තු යි.
1. 5.
14. (ප්රේතයෝ) සිය මුල් ගෙවලට පැමිණ ගෘහප්රාකාර භිත්තීන්හි පිටත ද තුන්මං සතරමං සන්ධිවල ද ගෘහවල දොරබායෙහි ද සිටිති.
15. බොහෝ ආහාරපානවර්ග හා කෑ යුතු බිදියයුතු දේ දානය සඳහා පිළියෙළ කළ ද ඒ ප්රේතයන්ගේ අකුශල කර්ම හේතුවෙන් කිසිවෙක් ඔවුන් සිහි නො කරයි.
16. නෑයන් අතුරෙන් ඒ ප්රේතයනට අනුකම්පා කරන දූපුත් ආදී යම් නෑ කෙනෙක් වෙද්ද, ඔවුහු පිරිසිදු ව ප්රණීත වූ කැප වූ පැන් සහ බොජුන් සුදුසු කලැ පිරිනමත්. “මේ පින ඥාතිප්රේතයනට පැමිණේවා. ඒ ඥාති ප්රෙතයෝ සුවපත් වෙත්වා”යි පින් දෙත්.
17. ඒ ඥාතිප්රේතයෝ ද ඒ ඒ තැන් වලින් අවුත් රැස් වූවාහු වෙති. බොහෝ වූ ආහාරපාන දානවිෂයෙහි පිදූ කල්හි එහි පින් මෙසේ සකසා අනුමෝදන් වෙත්.
18. “යම් නෑයන් නිසා අපි මේ සම්පත් ලබමෝ නම් ඒ නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා.” අපට ද පූජා පවත්වන ලද. දායකයෝ ද යහපත් විපාක ඇත්තෝ වෙත්.
19. ඒ ප්රේතලෝකයෙහි ගොවිකමෙක් නැත. ගවයන් රැකීමෙක් ද නැත. (ඔවුනට සම්පත් ලැබෙන) එවැනි වෙළඳාමෙක් ද නැත. ගැනීම් විකිනීම් සංඛ්යාත මුදලින් කෙරෙන ගනු දෙනුවක් ද නැත. කලුරිය කළ ප්රේතයෝ මෙලොවින් දුන් පිනින් එහි යැපෙති.
20. උස්තැන වැටුණු වැසිදිය යම්සේ පහත් තැන කරා පැමිණේ ද එමෙන් ම මේ මිනිස්ලොවින් දුන් පින ඒ ප්රේතයන්ට පැමිණේ.
21. යම්සේ පිරුණු මහානදීහු සාගරය පුරවත් ද, එසේ ම මෙයින් දෙනලද පින ප්රේතයනට පැමිණේ.
22. “මට මේ දෙය දුන්නේ ය, මාගේ මෙනම් කටයුත්ත කෙළේ ය, අසවල් අය මාගේ නෑයෝ ය, මිතුරෝ ය, යහළුවෝ” යි පෙර කළ උපකාරය සිහි කරමින් ප්රේතයනට පින් දෙන්නේ ය.
23. හැඬීම හෝ ශෝක කිරීම හෝ යම් අනික් විලාප කීමෙක් හෝ වේ ද, ඒ හැඞීම් ආදිය ප්රේතයනට හිත පිණිස නො වේ. (එහෙත්) එබඳු අවිඥ වූ නෑයෝ ද සිටිත්.
24. සංඝයා විෂයෙහි දෙන ලද මේ දක්ෂිණාව මැනැවින් පිහිටියා ය. බොහෝ කලක් මුළුල්ලෙහි ඒ ප්රේතයාට හිත පිණිස එකෙණෙහි ම එය පැමිණේ.
25. මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කළයුතු ඒ ඥාතිධර්මය යි. ප්රේතයනට මහත් වූ පූජාවක් ද කරන ලද ඒ භික්ෂුනට බලය ද දෙන ලද තොප විසිනුදු මහත් පිනක් රැස් කරන ලදී.
තිරොකුඩ්ඩ ප්රේතවස්තු යි.