1. 12.
(බමුණා මළපුතු වෙනුවෙන් ශෝක නො කිරීමේ හේතු දක්වයි:)
85. යම්සේ සර්‍පයා දිරූ සැව සියසිරුරින් හැර පියා යේ ද, එසේ ම ශරීරය නිෂ්ප්‍රයෝජන ව ආයුෂාදිය පහ වැ කලුරිය කළ කල්හි සත්ත්‍වයා සිය සිරුර හැරපියා යෙයි.
86. දවනු ලබන සිරුර නෑයන්ගේ හැඬීම නො දනී. එහෙයින් මළ පුතු නිමිති කොට නො හඬමි. ඔහුගේ යම් ගමනෙක් වී ද, හේ ඒ ගමන ගියේ ය.
(බැමිණි ද මළපුතු වෙනුවෙන් නො හඬන කරුණ කියයි:)
87. හේ නො කැඳවන ලද්දේ පරලොවින් මෙහි ආයේ යැ. නො අනුදන්නා ලද්දේ මෙලොවින් ගියේ ය. යම්සේ ආයේ ද එසේ ගියේ ය. එහි ලා කවර හැඬීමෙක් ද?
88. දැවෙන මළසිරුර නෑයන්ගේ විලාපය නො දනී. එහෙයින් තෙල පුතු ගැන නො හඬමි. ඔහුට කර්‍මානුරූප යම් ගතියක් වී ද, හේ ඒ ගමන ගියේ ය.
(මළහුගේ නැගෙණියෝ ද මෙසේ කියති:)
89. ඉදින් මම හඬනෙම් නම් කෘශ වෙමි. ඒ හැඬීමෙහි මට කවර ඵලයක් වේ ද, අපගේ ඥාති මිත්‍රසුහෘදයනට බෙහෙවින් නො ඇල්ම වන්නේ ය.
90. දැවෙන සිරුර නෑයන්ගේ හැඬීම නො දනි. එහෙයින් මම මොහු ගැන නො හඬමි. ඔහුගේ කර්‍මය පරිදි යම් ගතියක් වී නම් හේ ඒ ගමන ගියේ ය.
(ඔහුගේ බිරිඳ ද මෙසේ කියයි:)
91. යම්සේ බාල දරුවෙක් අහස්හි ගමන් කරන සඳට අඬා ද යමෙක් මළහු සඳහා ශෝක කෙරේ නම් ඒ කරුණ මෙබඳු ම ය.
92. දැවෙන්නේ නෑයන්ගේ හැඬීම නො දනී. එහෙයින් මම මොහුට නො හඬමි. ඔහුට කම් වූ පරිදි යම් ගතියෙක් වී නම් හේ ඒ ගමන ගියේය.
(දාසිය ද මෙසේ කියයි:)
93. පින්වත් බමුණ, යම්සේ බිඳුණු දිය කළය නැවත සන්‍ධි කළ නො හැකි වේ ද, යමෙක් මළහු සඳහා ශෝක කෙරේ නම් ඒ කරුණත් මෙබඳු ම යැ.
94. දැවෙන්නේ නෑයන්ගේ විලාපය නො දනී. එහෙයින් මම මොහුට නො හඬමි. ඔහුට කම් වූ පරිදි යම් ගතියෙක් වී නම් හේ ඒ ගමන ගියේ ය.
උරග ප්‍රේතවස්තු යි.
උරගවර්‍ගය නිමි.
එහි උද්දානය:
ඛෙත්තූපම ප්‍රේතවස්තු යැ, සූකරමුඛ ප්‍රේතවස්තු යැ, පූතිමුඛ ප්‍රේතවස්තු යැ, පිට්ඨධීතලික ප්‍රේතවස්තු යැ, තිරොකුඩ්ඩ ප්‍රේතවස්තු යැ, පඤ්චපුත්තඛාදක ප්‍රේතවස්තු යැ, සත්තපුත්තඛාදක ප්‍රේතවස්තු යැ, ගෝණ ප්‍රේතවස්තු යැ, මහාපෙසකාර ප්‍රේතවස්තු යැ, ඛල්ලාටිය ප්‍රේතවස්තු යැ, නාග ප්‍රේතවස්තු යැ, උරග ප්‍රේතවස්තු යැ යි උරගවර්‍ගයෙහි ප්‍රේතවස්තු දොළසෙකි.