3-1. ගණනවාරය
ෂෝඩශවස්තුක ආනාපානස්මෘති සමාධිය වඩන්නහුට සාතිරෙක දෙසියක් ඥානයෝ උපදිති. උවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අට දෙනෙක, උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙනෙක, උපක්ලේශ අරමුණු කොට පැවැති ඥානයෝ අටළොසෙක, වෝදානඥාන තුදුසෙක, සිහි ඇති වැ කරන්නහුගේ ඥාන දෙතිසෙක, සමාධිවශයෙන් පැවැති ඥානයෝ සූවිස්සෙක, විදර්ශනාවශයෙන් පැවැති ඥානයෝ දෙසැත්තෑවෙක, නිර්වේදඥානයෝ අටදෙනෙක, නිර්වේදයට අනුලොම් වූ ඥානයෝ අටදෙනෙක, නිර්වේදයාගේ සන්හිඳීමෙහි ඥානයෝ අටදෙනෙක, විමුක්තිසුඛසම්ප්රයුක්තඥානයෝ එක්විස්සෙකි.
ගණනවාරය නිමි.
3-2. පරිපන්ථ උපකාර ෂොඩශඥානයෝ
උවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන, උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන කවරහ යත්:
කාමච්ඡන්දය සමාධියට උවදුරු යැ, නෛෂ්ක්රම්යය සමාධියට උපකාර යැ. ව්යාපාදය සමාධියට උවදුරු යැ, අව්යාපදාය සමාධියට උපකාර යැ. ථිනමිද්ධය සමාධියට උවදුරු යැ, ආලෝකසංඥාව සමාධියට උපකාර යැ. ඖද්ධත්යය සමාධියට උවදුරු යැ, අවික්ෂේපය සමාධියට උපකාර යැ. විචිකිත්සාව සමාධියට උවදුරු යැ, ධර්මවිනිශ්චය සමාධියට උපකාර යැ. අවිද්යාව සමාධියට උවදුරු යැ, ඥානය සමාධියට උපකාර යැ. අරතිය සමාධියට උවදුරු යැ, ප්රාමෝද්යය සමාධියට උපකාර යැ. හැම අකුශලධර්මයෝ සමාධියට උවදුරු වෙති. හැම කුශලධර්මයෝ සමාධියට උපකාර වෙත්. මොහු උවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන ද උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන ද වෙත්.
මේ සොළොස් අයුරින් මතුමත්තෙහි කළ පරිචය ඇති මොනොවට මතුමත්තෙහි කළ පරිචය ඇති සිත ඒකත්වයෙහි පිහිටයි, නීවරණයන් කෙරෙන් විශුද්ධ වෙයි.
මේ ඒකත්වයෝ කවරහ යත්: නෛෂ්ක්රම්යය ඒකත්ව යැ අව්යාපාදය ඒකත්ව යැ ආලෝකසංඥාව ඒකත්ව යැ අවික්ෂේපය ඒකත්ව යැ ධර්මවිනිශ්චය ඒකත්ව යැ ඥානය ඒකත්ව යැ ප්රාමෝද්යය ඒකත්ව යැ හැම කුශලධර්මයෝ ඒකත්වයෝ යි.
ඒ නීවරණයෝ කවරහ යත්: කාමච්ඡන්දය නීවරණ යැ ව්යාපාදය නීවරණ යැ ථීනමිද්ධය නීවරණ යැ උද්ධච්චකුක්කුච්චය නීවරණ යැ විචිකිච්ඡාව නීවරණ යැ අවිජ්ජාව නීවරණ යැ අරතිය නීවරණ යැ හැම අකුශලධර්මයෝ නීවරණයෝ යි.
නීවරණා යනු: කවර අරුතින් නීවරණ වෙයි යත්: නිර්ය්යාණාවරණාර්ත්ථයෙන් නීවරණ යැ:
ඒ නිර්ය්යාණයෝ කවරහ යත්: නෙෂ්ක්රම්යය ආර්ය්යයන්ගේ නිර්ය්යාණයෙක. ඒ නෛෂ්ක්රම්යය හේතුකොටගෙන ද ආර්ය්යයෝ (කාමයෙන්) නික්ම යෙති. කාමච්ඡන්දය නිර්ය්යාණාවරණයෙක. ඒ කාමච්ඡන්දයෙනුදු වැසුණු බැවින් ආර්ය්යයන්ගේ නිර්ය්යාණය වූ නෛෂ්ක්රම්යය නො දනී නු යි කාමච්ඡන්දය නිර්ය්යාණාවරණ යැ. අව්යාපාදය ආර්ය්යයන්ගේ නිර්ය්යාණයෙක. ඒ අව්යාපාදය හේතුකොටගෙන ද ආර්ය්යයෝ (ව්යාපාදයෙන්) නික්ම යෙති. ව්යාපාදය නිර්ය්යාණයට ආවරණයෙක. ඒ ව්යාපාදයෙනුදු වැසුණු බැවින් ආර්ය්යයන්ගේ නිර්ය්යාණය වූ අව්යාපාදය නො දනී නු යි ව්යාපාදය නිර්ය්යාණාවරණ යැ. ආලෝකසංඥාව ආර්ය්යයන්ගේ නිර්ය්යාණයෙක. ඒ අලෝකසංඥාව හේතුකොටගෙන ද ආර්ය්යයෝ (ථීනමිද්ධයෙන්) නික්ම යෙති. ථිනමිද්ධය නිර්ය්යාණයට ආවරණයෙක. ඒ ථිනමිද්ධයෙනු දු වැසුණු බැවින් ආර්ය්යයන්ගේ නිර්ය්යාණය වූ ආලෝකසංඥාව නො ද නී නු යි. ථීනමිද්ධය නිර්ය්යාණාවරණ යැ. අවික්ෂේපය ආර්ය්යයන්ගේ නිර්ය්යාණයෙක. ඒ අවික්ෂේපය හේතුකොටගෙන ද ආර්ය්යයෝ (ඖද්ධත්යයෙන්) නික්ම යෙති. ඖද්ධත්යය නිර්ය්යාණයට ආවරණයෙක. ඒ ඖද්ධත්යයෙනුදු වැසුණු බැවින් ආර්ය්යයන්ගේ නිර්ය්යාණය වූ අවික්ෂේපය නො ද නී නු යි. ඖද්ධත්යය නිර්ය්යාණාවරණ යැ. ධර්මවිනිශ්චය ආර්ය්යයන්ගේ නිර්ය්යාණයෙක. ඒ ධර්මවිනිශ්චය හේතුකොටගෙන ද ආර්ය්යයෝ (විචිකිත්සායෙන්) නික්ම යෙති. විචිකිත්සාව නිර්ය්යාණයට ආවරණයෙක. ඒ විචිකිත්සායෙනුදු වැසුණු බැවින් ආර්ය්යයන්ගේ නිර්ය්යාණය වූ ධර්මවිනිශ්චය නො ද නී නු යි විචිකිත්සාව නිර්ය්යාණාවරණ යැ. ඥානය ආර්ය්යයන්ගේ නිර්ය්යාණයෙක. ඒ ඥානය හේතුකොටගෙන ද ආර්ය්යයෝ (අවිද්යායෙන්) නික්ම යෙති. අවිද්යාව නිර්ය්යාණයට ආවරණයෙක. ඒ අවිද්යායෙනුදු වැසුණු බැවින් ආර්ය්යයන්ගේ නිර්ය්යාණය වූ ඥානය නො ද නී නු යි අවිද්යාව නිර්ය්යාණාවරණ යැ. ප්රාමෝද්යය ආර්ය්යයන්ගේ නිර්ය්යාණයෙක. ඒ ප්රාමෝද්යය හේතුකොටගෙන ද ආර්ය්යයෝ (අරතියෙන්) නික්ම යෙති. අරතිය නිර්ය්යාණාවරණයෙක. ඒ අරතියෙනුදු වැසුණු බැවින් ආර්ය්යයන්ගේ නිර්ය්යාණය වූ ප්රාමෝද්යය නො ද නී නු යි අරතිය නිර්ය්යාණාවරණ යැ. හැම කුශලධර්මයෝ ආර්ය්යයන්ගේ නිර්ය්යාණයෙක. ඒ කුශලධර්මයන් හේතුකොටගෙන ද ආර්ය්යයෝ (හැම අකුශලයෙන්) නික්ම යෙති. හැම අකුශල ධර්මයෝ නිර්ය්යාණාවරණයෝ යැ. ඒ අකුශලධර්මයන් විසිනුදු වැසුණු බැවින් ආර්ය්යයන්ගේ නිර්ය්යාණය වූ කුශලධර්මයන් නො ද නී නු යි හැම අකුශලධර්මයෝ නිර්ය්යාණාවරණයෝ යැ.
ෂෝඩශඥානනිර්දේශය නිමි.
3-3. උපක්ලේශඥාන
තවද මේ නීවරණයන් කෙරෙන් (උපචාරභූමියෙහි) විශුද්ධ වූ සිත් ඇති, ෂෝඩශවස්තුක ආනාපානස්මෘතිය වඩන්නහුට ක්ෂණිකසමවධානය (උපක්ලේශසමාගමය) හේතුකොටගෙන කවර අටළොස් උපක්ලේශයෝ උපදනාහු ද යත්: