68. ඉන්‍ද්‍රියපරාවරතාඥානය
තථාගතයන් වහන්සේ (සත්ත්‍වයන් පිළිබඳ) ඉන්‍ද්‍රියපරාවරතාඥානය කවරෙ යත්:
මෙහි තථාගත තෙම අල්ප වූ කෙලෙස් රජස් ඇති මහත් වූ කෙලෙස් රජස් ඇති තියුණු වු (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන් ඇති මෘදු වූ ඉන්‍ද්‍රියයන් ඇති සුන්‍දර වූ ආකාර ඇති කුත්සිත වූ ආකාර ඇති සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවිය හැකි සත්ත්‍වයන් පරලොව ද (රාගාදි) වද්‍යය ද භය වශයෙන් දක්නා වූ ඇතැම් සත්ත්‍වයන් පරලොව ද (රාගාදි) වද්‍යය ද භය වශයෙන් නො දක්නා වූ ඇතැම් සත්ත්‍වයන් (ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙන්) දකී.
අප්පරජක්ඛෙ මහරජක්ඛෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම මහාරජස්ක යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ කුසීද පුද්ගල තෙම මහාරජස්ක යැ එළඹ සිටි සිහි ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ මුළාසිහි ඇති පුද්ගල තෙම මහාරජස්ක යැ සමාහිත පුද්ගල තෙම අල්පරජස්ක යැ අසමාහිත පුද්ගල තෙම මහාරජස්ක යැ (උදයව්‍යගාමිනී) ප්‍රඥාව ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ දුෂ්ප්‍රාඥ පුද්ගල තෙම මහාරජස්ක යි.
තික්ඛින්‍ද්‍රිය මුදින්‍ද්‍රියෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ රුකුළු වැර ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ කුසීත වූ පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ මුළාසිහි ඇති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ සමාහිත වූ පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ අසමාහිත වූ පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ප්‍රඥාව ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ දුෂ්ප්‍රාඥ වු පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යි.
ස්වාකාරෙ ද්වාකාරෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ කුත්සිත වූ පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ එළඹසිටිසිහි ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ මුළාසිහි ඇති පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ සමාහිත වූ පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ අසමාහිත වූ පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ ප්‍රඥා ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ දුෂ්ප්‍රාඥ වූ පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යි.
සුවිපඤඤාපයෙ දුවිපඤඤාපයෙ යනු: සැදැහැති පුද්ගල තෙම සුවිඥාප්‍ය (සුවසේ හැඟැවිය හැකි) යැ සැදැහැ නැති පුද්ගල තෙම දුර්විඥාප්‍ය (දුකසේ හැඟැවිය හැකි) යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ කුසීද වූ පුද්ගල තෙම දුර්විඥාප්‍ය යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ මුළාසිහි ඇති පුද්ගල තෙම දුර්විඥාප්‍ය යැ සමාහිත පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ අසමාහිත පුද්ගල තෙම දුර්විඥාප්‍ය යැ ප්‍රාඥ පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ දුස්ප්‍රාඥ පුද්ගල තෙම දුර්විඥාප්‍ය යි.
අප්පේකච්චේ පරලෝකවජ්ජභය දස්සාවිනෝ අප්පේකච්චේ න පරලෝකවජ්ජභයදස්සාවිනෝ යනු: සැදැහැති පුද්ගල තෙම පරලොව හා (රාගාදි) වද්‍ය භය වශයෙන් දක්නේ (දක්නාසුලු) යැ සැදැහැ නැති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ කුසීද පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ මුළාසිහි ඇති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ සමාහිත පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ අසමාහිත පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ ප්‍රාඥ පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ දුෂ්ප්‍රාඥ පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යි.
ලෝකෝ යනු: ස්කන්‍ධලෝක යැ ධාතුලොක යැ ආයතනලෝක යැ විපත්තිභව (අපාය) ලෝක යැ විපත්තිසම්භව (අපායූපගකම්ම) ලෝක යැ සම්පත්තිභව (සුගති) ලෝක යැ සම්පත්තිසම්භව (සුගතූපගකම්ම) ලෝක යි.
එක් ලොවකැ: හැම සත්හු ආහාරයෙන් සිටුනාහු යැ. ලෝකයෝ දෙදෙනෙකැ: නාමයත් රූපයත් යැ. ලෝකයෝ තුන්දෙනෙකැ: තුන් වේදනා යැ. ලෝකයෝ සතරදෙනෙකැ: සතර ආහාරයෝ යැ. ලෝකයෝ පස්දෙනෙකැ: පඤ්චෝපාදානස්කන්‍ධයෝ යැ. ලෝකයෝ සදෙනෙකැ: ආධ්‍යාත්මික ආයතනයෝ සදෙන යැ. ලෝකයෝ සත්දෙනෙකැ: සප්ත විඥානස්ථිතිහු යැ. ලෝකයෝ අටදෙනෙකැ: අෂ්ටලෝකධර්‍මයෝ යැ ලෝකයෝ නවදෙනෙකැ: නවසත්ත්‍වාවාසයෝ යැ. ලෝකයෝ දසදෙනෙකැ දසආයතනයෝ යැ. ලෝකයෝ දොළොස්දෙනෙකැ: දොළොස් ආයතනයෝ යැ. ලෝකයෝ අටළොස්දෙනෙකැ: අටළොස් ධාතුහු යි.
වජ්ජං යනු: හැම ක්ලේශයෝ වද්‍යයෝ යැ හැම දුශ්චරිතයෝ වද්‍යයෝ යැ හැම අභිසංස්කාරයෝ වද්‍යයෝ යැ හැම භවගාමීකර්‍මයෝ වද්‍යයෝ යි.