50. ඍද්ධිවිධ ඥානය
කිසෙයින් රූපකාය ද පාදකධ්යානචිත්තය ද (පරිකර්මචිත්තයෙන්) එක් කොට තැබීමෙන් සුඛසංඥාව ද ලඝුසංඥාව ද අධිෂ්ඨානවශයෙන් සමෘද්ධ වන ප්රඥාව ඍද්ධිවිධඥාන වෙයි යත්:
මෙසස්නෙහි මහණ තෙම ඡන්දය අධික කොට ඇති සමාධිය හා ප්රධන් වීර්ය්යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්ය්යය අධික කොට ඇති සමාධිය ... චිත්තය අධික කොට ඇති සමාධිය ... වීමංසාව අධික කොට ඇති සමාධිය හා ප්රධාන වීර්ය්යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩයි. දමනය කෙරෙයි. මෘදු වූ (එහෙයින් මැ) කර්මණ්ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදුවූවක් කර්මණ්ය වූවක් කොට (තමාගේ) කරජකය ද පාදකධ්යාන චිත්තයෙහි ප්රවේශ කෙරෙයි. පාදකධ්යානචිත්තය ද (තමාගේ) කරජකායයෙහි ප්රවේශ කෙරෙයි. කායවශයෙන් සිත පිරිනමයි. චිත්තවශයෙන් කය පිරිනමයි. කායවශයෙන් චිත්තය අධිෂ්ඨාන කෙරෙයි. චිත්තවශයෙන් කය අධිෂ්ඨාන කෙරෙයි. කායවශයෙන් සිත පිරිනමා චිත්තවශයෙන් කය පිරිනමා කායවශයෙන් චිත්තය අධිෂ්ඨාන කොට චිත්තවශයෙන් කය අධිෂ්ඨාන කොට සුඛසංඥාව ද ලඝුසංඥාව ද කරජකයෙහි ප්රවේශ කොට වාසය කෙරෙයි. හෙතෙම එසෙයින් වඩනලද පරිශුද්ධ වූ ප්රභාස්වර වූ සිතින් ඍද්ධිවිධඥානය ලැබීම පිණිස (පරිකර්ම) සිත එළවයි. නැඹුරු කෙරෙයි.
හෙතෙම අනේක ප්රකාර වූ ඍද්ධිකොට්ඨාසය ස්පර්ශ කෙරේ: එකෙක් වැ බහුප්රකාර වෙයි. බහුප්රකාර වී එකෙක් වෙයි. ප්රකට බවට ප්රතිච්ඡන්න බවට ගෙබිතින් ඔබට පවුරින් ඔබට පව්වෙන් ඔබට අහස්හි සෙයින් නො ලැගෙමින් යෙයි පොළොව්හි දු දියෙහි සෙයින් ගැලීම් නැඟීම් කෙරෙයි. නො බිඳෙන දියෙහි දු පොළොව්හි සෙයින් යෙයි. අහස්හි දු පියා ඇති ලිහිණියකු සෙයින් පලගින් යෙයි. මෙසේ මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අත්තලින් පරාමාර්ශ කෙරෙයි. පිරිමදියි. බඹලොව දක්වාත් වශයෙහි පවත්වයි.
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘කායම්පි චිත්තමපි ඒකවවත්ථානතා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසේන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධ ඤාණං’යී.
ඍද්ධිවිධඥානනිර්දේශ යි.
51. ශ්රොත්රධාතුවිශුද්ධි ඥානය
කිසෙයින් විතර්කවිෂ්ඵාරවශයෙන් නානාත්ව වූ ද ඒකත්ව වූ ද ශබ්දනිමිත්තයන්ට බැසගැනීමෙහි ප්රඥාව ශ්රෝත්රධාතු විශුද්ධිඥාන වෙයි යත්:
මෙ සස්නෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධිය ... වීර්ය්යය අධිපති කොට ඇති සමාධිය ... චිත්තය අධිපති කොට ඇති සමාධිය ... වීමංසාව අධිපති කොට ඇති සමාධිය හා ප්රධාන වීර්ය්යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි. හේ මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩයි, දමනය කෙරෙයි, මෘදු වූවක් කර්මණ්ය වූවක් කෙරෙයි. හේ මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්මණ්ය වූවක් කොට දුරැ වූ ද ශබ්දයන් ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. ළඟැ වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. ඖදාරික වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. සූක්ෂම වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. අතිසූක්ෂම වූ ද ශබ්දයන්ගේ ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැදුම්දිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැළදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උතුරුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. දකුණුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැදුම් අනුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැසුම් අනුදිග වු ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උතුරු අනුදිග වු ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. දකුණුඅනුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. යට දිශායෙහි වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උඩ දිශායෙහි වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරේ.
හේ එසේ භාවිත වූ පරුශුද්ධ වූ ප්රභාස්වර වූ සිතින් ශ්රෝත්රධාතු විශුද්ධිඥානය පිණිස සිත එළවයි නැඹුරු කෙරෙයි. හෙතෙම විශුද්ධි වූ මිනිසැස ඉක්මසිටි දිව්යශ්රෝත්රධාතුයෙන් දුරැ වූ ළඟ වූ ද දෙවියන්ගේ ද මිනිසුන්ගේ ද උභයශබ්දයන් අසයි.
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විතක්කවිපථාරවසේන නානත්තේකත්තසද්දනිමිත්තානං පරියෝගාහනෙ පඤ්ඤා සෝතධාතුවිසුද්ධි ඤාණං’යි.
ශ්රෝත්රධාතු විශුද්ධිඥානනිර්දේශ යි.
52. චේතෝපරිය ඥානය
කිසෙයින් (සොමනස්සසහගතාදි) ත්රිවිධ චිත්තයන්ගේ වේගය හේතු කොට ගෙන ඉන්ද්රියයන්ගේ ප්රසාද වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වූ එකුන් අනූ චිත්තයාගේ පැවැත්ම දන්නා ප්රඥාව චේතෝපරියඥාන වෙයි යත්:
මෙසස්නෙහි මහණ ඡන්දසමාධිය … වීර්ය්යදසමාධිය … චිත්තදසමාධිය … වීමංසාසමාධිය … වඩා ද හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩයි දමනය කෙරෙයි. මෘදු වූවක් කර්මණ්ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්මණ්ය වූවක් කොට මෙසේ දැනගනියි. මේ සිත සෝමනස්සින්ද්රියයෙන් උපන. මේ සිත දොමනස්සින්ද්රියයෙන් උපන, මේ සිත උපෙක්ඛින්ද්රියයෙන් උපනැ’යි.