ශීලයෝ පස්දෙනෙකි: ප්‍රාණවධයාගේ ප්‍රහාණය ශීල යැ. (ප්‍රාණවධයෙන්) වෙන්වීම ශීල යැ ( ප්‍රාණවධයට ප්‍රතිපක්‍ෂ වූ) චේතනාව ශීල යැ (ප්‍රාණවධයෙන්) වැළකීම ශීල යැ (ප්‍රාණවධයාගේ) අව්‍යතික්‍රමය ශීල යි. මෙබඳු ශීලයෝ චිත්තයාගේ නො විපිළිසර බව පිණිස පවතිත් ප්‍රාමෝද්‍යය පිණිස පවතිත්, ප්‍රීතිය පිණිස පවතිත්, සන්හිඳීම පිණිස පවතිත්, සොම්නස පිණිස පවතිත්, ආසෙවනය පිණිස පවතිත්, වැඩීම පිණිස පවතිත්, බහුල කිරීම පිණිස පවතිත්, අලඞ්කාරය පිණිස පවතිත්, පරිෂ්කාරය පිණිස පවතිත්, පරිවාරය පිණිස පවතිත්, පරිපූර්‍ණභාවය පිණිස පවතිත්, ඒකාන්තයෙන් නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්.
මෙබඳු ශීලයන්ගේ සංවර සංඛ්‍යාත පාරිශුද්ධිය අධිශීල වෙයි. සංවරපාරිශූද්ධියෙහි සිටි චිත්තය වික්‍ෂේපයට නො යෙයි. අවික්‍ෂේප සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිචිත්ත වෙයි. සංවරපාරිශුද්ධිය මොනොවට දකී, අවික්‍ෂේපපාරිශුද්ධිය මොනොවට දකී, (ඔහුගේ) දර්‍ශන සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිප්‍රඥා වෙයි. එහි යම් සංවරභාවයෙක් වේ ද මේ අධිශීලශික්‍ෂා නමු. එහි යම් අවික්‍ෂේපභාවයෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා නමු. එහි යම් එහි යම් දර්‍ශනභාවයෙක් වේ ද මේ අධිප්‍රඥාශික්‍ෂා නමු.
මේ තුන් ශික්‍ෂාවන් (එකක් එකක්) ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි. (ආවර්‍ජනා කොට) දනිමින් හික්මෙයි. (දැන පුනපුනා) බලමින් හික්මෙයි. (දැක) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙයි. (ප්‍රත්‍යවේක්‍ෂා කොට) සිත නිසල කොට පිහිටුවමින් හික්මෙයි. ශ්‍රද්ධායෙන් බැසගනිමින් හික්මෙයි. වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙයි. සිහි එළවා තබමින් හික්මෙයි. සිත පිහිටුවමින් හික්මෙයි. ප්‍රඥායෙන් දනිමින් හික්මෙයි. ස්වභාවලක්‍ෂණාවබෝධයෙන් දතයුතු ධර්‍මජාතය වෙසෙසින් දනිමින් හික්මෙයි. සාමාන්‍යලක්‍ෂණාවබොධවශයෙන් දතයුතු ධර්‍මජාතය හාත්පසින් දනිමින් හික්මෙයි. ප්‍රහාතව්‍යය දුරු කෙරෙමින් හික්මෙයි. වැඩියයුත්ත වඩමින් හික්මෙයි. ප්‍රත්‍යක්‍ෂ කටයුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙයි.
ශීලයෝ පස්දෙනෙකි: අදත්තාදානයාගේ ... කාමමිථ්‍යාචාරයාගේ ... මෘෂාවාදයාගේ ... පිශුනවචනයාගේ … පරුෂවචනයාගේ ... ප්‍රලාපයාගේ ... අභිධ්‍යාවගේ ... ව්‍යාපාදයාගේ ... මිථ්‍යාදෘෂ්ටිහුගේ ...
නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දයාගේ ... අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ ... අලෝකසංඥායෙන් ථීනමිද්ධයාගේ ... අවික්‍ෂෙපයෙන් උද්ධතභාවයාගේ ... ධර්‍මනිශ්චයයෙන් විචිකිත්සාවගේ ... ඥානයෙන් අවිද්‍යාවගේ ... ප්‍රාමෝද්‍යයෙන් අරතියගේ ...
ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ... ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයන්ගේ ... තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියගේ ... චතුර්‍ත්‍වධ්‍යානයෙන් සුඛදුඃඛයන්ගේ ... ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාවගේ ... ප්‍රතිඝසංඥායෙන් නානාත්‍වසංඥාවගේ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාවගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනය සංඥාවගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්ඤචඤ්ඤායතන සංඥාවගේ ...
අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥාවගේ ... දුක්ඛානුපස්සනායෙන් සුඛසංඥාවගේ ... අනත්තානුපස්සනායෙන් ආත්මසංඥාවගේ ... නිබ්බිදානුපස්සනායෙන් නන්‍දිය (තෘෂ්ණාව) ගේ ... විරාගානුපස්සනායෙන් රාගයාගේ ... නිරෝධානුපස්සනායෙන් සමුදයාගේ ... පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානයාගේ ... ඛයානුපස්සනායෙන් ඝනසංඥාවගේ ... වයානුපස්සනායෙන් කර්‍මායූහනයාගේ ... විපරිණාමානුපස්සනායෙන් ධ්‍රැවසංඥාවගේ ... අනිමිත්තානුපස්සනායෙන් (නිත්‍ය) නිමිත්තයාගේ ... අප්පණිහිතානුපස්සනායෙන් ප්‍රණිධිහු (සුඛප්‍රාර්‍ත්‍ථනාව) ගේ ... සුඤ්ඤතානුපස්සනායෙන් ආත්මාභිනිවේශයාගේ ... අධිපඤ්ඤාධම්මවිපස්සනායෙන් ආත්මසාරාභිනිවේශයාගේ ... යථාභූතඤාණදස්සනයෙන් සම්මූඪාභිනිවේශයාගේ ... ආදීනවානුපස්සනායෙන් ආලයාභිනිවේශයාගේ ... පටිසඞ්ඛානුපස්සනායෙන් අනුපායග්‍රහණයාගේ ... විවට්ටානුපස්සනායෙන් සංයෝගාභිනිවේශයාගේ ...