14. ප්‍රත්‍යවේක්‍ෂා ඥානය
කිසෙයින් ඒ මාර්‍ග-ඵලක්‍ෂණයෙහි ප්‍රතිලාභ-ප්‍රතිවේධ වශයෙන් පැමිණි මාර්‍ගඵලධර්‍මයන් ද චතුස්සත්‍යධර්‍මයන් ද දක්නා ප්‍රඥාව ප්‍රත්‍යවේක්‍ෂා ඥානය වෙයි යත්:
ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි (පරිඥාභිසමයාදි ලක්‍ෂණයෙන් චතුස්සත්‍ය) දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි (හේතුයෙන්) පහළවූ යැ, අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සඞ්කල්ප තෙමේ ඒ මඟකෙණෙහි පහළ වූයෙ යැ, පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, සමුත්‍ථාන (කාරණ) භාවාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්ත තෙමේ ඒ මඟ කෙණෙහි සමුදාගත යැ, පරිශුද්ධාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීව තෙමේ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාම තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘතිය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධි තෙමේ ඒ මඟකෙණෙහි පහළ වූයේ යැ.
උපස්ථාන (-අරමුණට පැමිණ සිටුනා) භාවයෙන් ස්මෘතිසම්සම්බොධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රවිචයාර්‍ත්‍ථයෙන් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ස්ඵරණාර්‍ත්‍ථයෙන් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, උපශමාර්‍ත්‍ථයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රතිසඞ්ඛ්‍යානාර්‍ත්‍ථයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ.
අශ්‍රද්ධායෙහි අචලාර්‍ත්‍ථයෙහි ශ්‍රද්ධාබලය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, කෞෂීද්‍යායෙහි අචලාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබලය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රමාදයෙහි අචලාර්‍ත්‍ථයෙන් ස්මෘතිබලය එකෙණෙහි සමුදාගත යැ, ඖද්ධත්‍යයෙහි අචලාර්‍ත්‍ථයෙන් සමාධිබලය එකෙණෙහි සමුදාගත යැ, අවිද්‍යායෙහි අචලාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය එකෙණෙහි සමුදාගත යැ.
අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය එකෙණෙහි සමුදාගත යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ.
අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි පහළවූවාහු යැ, අචලභාවාර්‍ත්‍ථයෙන් බලයෝ ඒ මඟකෙණෙහි සමුදාගතයෝ යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් සම්බෝධ්‍යඞ්ගයෝ ඒ මඟකෙණෙහි සමුදාගතයෝ යැ, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය තෙමේ එකෙණෙහි සමුදාගතය යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රදහනයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගතයෝ යැ, සමෘද්ධිභාවයෙන් ඍද්ධිපාදයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, අවිසංවාදකාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය එකෙණෙහි සමුදාගත යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා තොමෝ එකෙණෙහි සමුදාගත යැ, ඒකකෘත්‍යභාවයෙන් ශමථවිදර්‍ශනා එකෙණෙහි සමුදාගත යැ, (ඔවුනොවුන්)නො ඉක්මැ පවත්නා අර්‍ත්‍ථයෙන් යුගනන්‍ධය එකෙණෙහි සමුදාගත යැ, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපභාවයෙන් චිත්තවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, විමුක්ත (-කෙලෙසුන් කෙරෙන් මිදුණු) බැවින් විමෝක්‍ෂයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, සත්‍ය ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව එකෙණෙහි සමුදාගත යැ, (ක්ලේශයන්ගේ) පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය එකෙණෙහි සමුදාගත යැ, ක්ලේශසමුච්ඡින්‍දනාර්‍ත්‍ථයෙන් ක්‍ෂය (ආර්‍ය්‍යමාර්‍ගයෙහි) ඥානය එකෙණෙහි සමුදාගත යැ.
කුශලධර්‍මයන් ගේ කත්තුකම්‍යතා ඡන්‍ද තෙමේ (ප්‍රතිපත්තියට ද නිෂ්පත්තියට ද මූල හෙයින්) මූලාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, යෝනිසෝමනසිකාර තෙමේ (කුශලධර්‍මයන් උපදවන හෙයින්) සමුත්‍ථාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ස්පර්‍ශ තෙමේ සමවධානාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, වේදනා තොමෝ සමවසරණාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, සමාධි තෙමේ ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ. ස්මෘති තොමෝ අධිපතිභාවාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ආර්‍ය්‍යමාර්‍ග ප්‍රඥා තොමෝ ඒ කුශලධර්‍මයනට ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ඵලවිමුක්තිය (ස්ථිර හෙයින්) සාරාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, අමෘත හෙයින් සත්නට ප්‍රතිෂ්ඨා වූ නිර්‍වාණය (ශාසනයාගේ නිෂ්ඨාව හෙයින්) පර්‍ය්‍යාවසානාර්‍ත්‍ථයෙන් ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ, (ඵලාවසානයෙහි) නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි පහළවූවාහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.