8. අෂ්ටම භූමි - සූත්රවිභඞ්ගය
අවිද්යාවගේ ද භවතෘෂ්ණාවගේ ද පූර්වාන්තය නො පැනෙයි. එහි අවිද්යානීවරණ ඇති තෘෂ්ණාසංයෝජන ඇති සත්වයන්ගේ පූර්වාන්තය නො පැනෙයි, එහි යම් සත්වකෙනෙක් තෘෂ්ණසංයෝජන ඇත්තාහු ද ඔහු ගැලීසිටීම බහුල කොට ඇත්තාහු මද වූ විදර්ශනා ඇත්තාහු යැ. යළි උත්සන්න වූ දෘෂ්ටි ඇති යම් සත්වකෙනෙක් ඇද්ද ඔහු විදර්ශනා බහුල කොට ඇත්තාහු අල්ප වූ ගැලීසිටීම ඇත්තාහු වෙත්.
1. එහි තෘෂ්ණචරිත ඇති සත්වසංඥායෙහි බැසගත්තාහු උත්පාදව්යය නො දක්නාහු වෙති, ඔහු පඤ්චස්කන්ධයෙහි ආත්මය ඇතැයි දකිති, ආත්මය රූපවත් යයි හෝ, ආත්ම යෙහි රූපය ඇතැයි හෝ, රූපයෙහි ආත්මය ඇතැයි හෝ යි. මෙසේ පඤ්චස්කන්ධයෝ (කියැයුත්තාහ.) අන්යස්කන්ධයන්ගෙන් ආත්මය දකිත්. එහි උත්සන්න වූ දෘෂ්ටි ඇති සත්වයෝ විමසන්නාහු ස්කන්ධයන් ඍජුව ආත්මවශයෙන් දකිත්. ඔහු රූපය ආත්ම විසින් දකිත්. ‘යම් රූපයක් ඇද්ද හේ ආත්ම යැ, යමෙක් මම වෙම් ද ඒ රූප යැ, හෙතෙම රූපයාගේ විනාශය දකී. මේ උච්ජේදවාදී යැ. මෙසේ පඤ්චස්කන්ධයන්ගේ ප්රථමාභි නිපාතයෙන් සත්කායදෘෂ්ටිහු පස්දෙනෙක් උච්ඡේදය භජනය කෙරෙත්.
එය ජීව යැ එය ශරීරයැ’ යි එක් එක් ස්කන්ධයෙහි පශ්චිම වූ තුන් පදයෙන් ශාස්වතය භජනය කෙරෙයි. ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි. මේ ශාසනයෙන් බැහැර වූ ඒ පැවිද්දෝ තෂ්ණාචරිත ඇත්තාහු ඒ හේතුයෙන් ම කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදී වෙසෙත්. දෘෂ්ටිචරිත ඇත්තාහු ඒ දෘෂ්ටිසුඛයෙන් ම අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත්. මෙතෙකින් බාහිර වූ ප්රයෝගය වේ.
එහි යම් දෘෂ්ටීචරිත ඇති සත්වකෙනෙක් ආර්ය්යධර්මවිනයට බැසගනිත් ද ඔහු ධම්මානුසාරී වෙති, යම් තෘෂ්ණචරිත ඇති සත්වකෙනෙක් ආර්ය්යශාසනයට බැසගනිත් ද ඔහු සද්ධානුසාරී වෙත්.
එහි යම් දිට්ඨිචරිත සත්වකෙනෙක් ඇද්ද ඔහු කාමයන්හි දෝස දක්නාහුයැ, යම් කෙනෙක් කාමයන්හි අනුශය නො ද නසනලද්දාහු ද ඔහු අත්තකිලමථානුයෝගයෙහි යෙදී වෙසෙති. ඔවුන්ට ශාස්තෲන් වහන්සේ හෝ අන්ය ශ්රාවකයෙක් හෝ ‘කාමයන්ගෙන් අර්ත්ථයෙක් නැතැ’ යි දහම් දෙසති, ඔහුදු පෙර මැ කාමයන් නොරිසි වූවාහු යැ, එහෙයින් නිදුකින් කාමයන් දුරු කෙරෙති, ඔහු චෛතසික දුකින් නො මඩනාලද්දාහු යැ. එහෙයින් ‘සුඛා පටිපදා’ යී කියනුලැබේ. වැලි යම් තණ්හාචරිත සත්ව කෙනෙක් ඇද්ද ඔහු කාමයන්හි බැසගත්තාහු යැ. ඔවුනට ශාස්තෲන් වහන්සේ හෝ අන් පැවිදිකෙනෙක් හෝ ‘කාමයන් ගෙන් අර්ත්ථ නැතැ’ යි දහම් දෙසති. ඔහු ප්රියස්වභාව වස්තුව දුකසේ දුරලති, එයින් ‘දුක්ඛා පටිපදා’ යි කියනු ලැබේ. මෙසේ මේ සියලු සත්වයෝ දුඃඛ වූ සුඛ වූ දෙවැදෑරුම් ප්රතිපදාවන්හි සමෝසරණයට යෙත්.
එහි යම් දිට්ඨිචරිත සත්වකෙනෙක් වෙද්ද ඔහු මුදින්ද්රිය ද තික්ඛින්ද්රිය දැයි දෙපරිදි වෙති. එහි යම් තික්ඛින්ද්රිය වූ දිට්ඨිචරිත සත්වකෙනෙක් සුවසේ කාමයන් දුරැලත් ද වහා අභිසමය කෙරෙත් ද එයින් ‘ඛිප්පාභිඤ්ඤා සුඛා පටිපදා’ යි කියනු ලැබේ. එහි යම් මුදින්ද්රිය වූ දිට්ඨිචරිත සත්වකෙනෙක් වෙත් ද පළමු තික්බින්ද්රියයා ගෙන ඉතා ලැසිවැ අභිසමය කෙරෙත් ද, ඔහු සුවසේ කාමයන් දුරැලති, ලැසිවැ අභිසමය කෙරෙත්. එයින් ‘සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා’යි කියනු ලැබෙත්. එහි තණ්හාචරිත සත්වයෝ තික්ඛින්ද්රිය ද මුදින්ද්රිය දැයි දෙපරිදි වෙති. එහි යම් තික්ඛින්ද්රිය වූ තණ්හාචරිත සත්වකෙනෙක් දුකසේ කාමයන් දුරැලත් ද වහා අභිසමය කෙරෙත් ද එයින් ‘දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා’යි කියනු ලැබෙත්. එහි යම් මුදින්ද්රිය වූ තණ්හාචරිත සත්වකෙනෙක් වෙත් ද පළමු තික්ඛින්ද්රියයා ගෙන ඉතා ලැසිවැ අවබෝධ කෙරෙත් ද ඔහු දුකසේ කාමයන් දුරැලති ලැසිවැ අභිසමය කෙරෙත්. එයින් ‘දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා’ යී කියනු ලැබේ. මේ සතර ප්රතිපදා වෙති, පසක් නොවෙති, සයක් නොවෙත්. යම්කෙනෙක් නිවියාහු හෝ නිවෙන්නාහු හෝ වෙත් ද මේ සතර ප්රතිපදායෙනි, අනෙකකින් නොවෙත්. යම් ප්රතිපදාවක් චතුෂ්කමාර්ගයෙන් ආර්ය්යධර්මයන්හි දැක්වියයුත්තී ද, මෙය ප්රතිපදාචතුෂ්කයෙන් ක්ලේශයන් දක්වයි.
මේ සීහවික්කීළිතනය නමැයි කියනු ලැබේ.
2. එහි මේ සතර ආහාරයෝ යැ සතර විපල්ලාසයෙන් යැ උපාදානයෝ යැ යෝගයෝ ගන්ථයෝ යැ. ආසවයෝ යැ ඕඝයෝ යැ සල්ලයෝ යැ විඤ්ඤාණට්තීහු යැ (සතර) අගතිගමනයෝ යි මෙසේ මේ සියලු දසපදයෝ වෙත්. මේ සූත්රයාගේ සංසන්දනා යි.
සතර ආහාරයෝ වෙති : එහි යම් කබළිංකාරාහාරයෙකුත් යම් ඵස්සාහාරයෙකුත් වෙත් ද මොහු තණ්හාචරිතයා විසින් ප්රහාතව්ය යැ, එහි යම් මනෝසඤ්චේතනාහාර යෙකුත් යම් විඤ්ඤාණාහාරයෙකුත් වෙත් ද මොහු දිට්ඨිචරිතයා විසින් ප්රහාතව්ය යි.
ප්රථම ආහාරය ප්රථම විපල්ලාස යැ, දෙවැනි ආහාරය දෙවැනි විපල්ලාස යැ, තෙවැනි ආහාරය තෙවැනි විපල්ලාසය යැ, සතරවැනි ආහාරය සතරවැනි විපල්ලාස යි. මේ සතර විපල්ලාසයෝ යැ. පස්වැන්නක් නැත, සවැන්නක් නැති. මෙ ද සතර ආහාරයෝ ප්රමාණ කොට ඇත්තාහ.
එහි ප්රථම විපල්ලාසයෙහි සිටියේ කාමයන් දැඩිව ගනී. මේ කාමූපාදාන යැ, දෙවැනි විපල්ලාසයෙහි සිටියේ අනාගත භවය දැඩිවැ ගනී, මේ සීලබ්බතූපාදාන යැ, තෙවැනි විපල්ලාසයෙහි සිටියේ විපරීත දෘෂ්ටිය දැඩිවගනී, මේ දිට්ඨූපාදාන යැ. සතර වැනි විපල්ලාසයෙහි සිටියේ ස්කන්ධයන් ආත්මවශයෙන් දැඩිවැ ගනී, මේ අත්තවාදූපාදාන යි.
එහි කාමූපාදානයෙහි සිටියේ වස්තුකාම ක්ලේශකාමයන් අභිධ්යා කෙරෙයි, (නාමකය හා) ග්රන්ථනය කෙරෙයි. මේ අභිධ්යාකායග්රන්ථ යැ, සීලබ්බතූපාදානයෙහි සිටියේ ව්යාපාදය ග්රන්ථනය කෙරෙයි, මේ ව්යාපාදකායග්රන්ථ යැ, දිට්ඨුපාදානයෙහි සිටියේ දෘෂ්ටි පරාමර්ශය ග්රන්ථනය කෙරෙයි, මේ පරාමාසකායග්රන්ථ යැ, ආත්මවාදූපාදානයෙහි සිටියේ අනුප්රබන්ධ වශයෙන් සසර සිටුනේ (නාමකය) ග්රන්ථනය කෙරෙයි. මේ ඉදංසත්යාභිනිවේසකායග්රන්ථ යි.