7. 4.
“මනෝපුබ්බඞ්ගමා ධම්මා” යන ගාථාව මෙසේ යැ:
1. එහි “දේසනාහාරය” කවරෙ යැ: මේ සූත්‍රයෙහි අර්‍ත්‍ථ කවරැ: ඛන්‍ධවවත්‍ථානයෙන් විඥානස්කන්‍ධය දේශනා කෙරෙති. ධාතුවවත්‍ථානයෙන් මනෝවිඤ්ඤාණධාතු ද. ආයතනවවත්‍ථානයෙන් මනායතනය ද, ඉන්‍ද්‍රියවවත්‍ථානයෙන් මනින්‍ද්‍රිය ද දෙසන සේක. ඒ ගාථායෙහි පූර්‍වඞ්ගම ධර්‍මයෝ කවරහු ද: සැකෙවින් ධර්‍මයෝ සදෙනෙක් පූර්‍වඞ්ගම ධර්‍මයෝ යි. නිමිත්තරහිත වැ කුශලමූලයෝ ද අකුශලමූලයෝ ද වෙති. මේ සූත්‍රයෙහි කුශලමූලය දේශිත යි. එහි මනෝපුබ්බඞ්ගම ධර්‍මයෝ කවරහ: ඒ ධර්‍මයනට මනස පූර්‍වඞ්ගම යැ, යම්සේ බලසෙනඟට රජ පූර්‍වඞ්ගම ද, එසෙයින් මැ ධර්‍මයනට මනස පූර්‍වඞ්ගම යි.
එහි නෙක්ඛම්මච්ඡන්‍ද අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යන තෙවැදෑරුම් පූර්‍වඞ්ගමයන් අතුරෙන් අලෝභයට නෛෂ්ක්‍රම්‍යච්ඡන්‍දයෙන් පෙරදැරි වෙයි. අදෝසයට අව්‍යාපාදච්ඡන්‍දයෙන් පෙරදැරි වෙයි. අමෝහයට අවිහිංසාච්ඡන්‍දයෙන් පෙරදැරි වේ.
එහි “මනෝසෙට්ඨා” යනු: මේ දහම්හු මනසින් උත්කෘෂ්ටයහ, නොහොත් සිතින් නිර්මිතයහ, සිත මැ මේ දහමුන්ට ශ්‍රේෂ්ඨ නු යි සිත මැ මේ දහමුන්ට ජ්‍යේෂ්ඨ නු යි සිත මැ මේ දහමුන්ට අධිපතිබව කෙරේ නු යි ‘මනෝසෙට්ඨ’ නම් වෙති.
“මනෝජවා” යනු: යම් තැනෙක සිත යේ ද, මේ දහම්හු එහි යෙත් නු යි “මනෝජව” නම් වෙති. යම්සේ වාතය වහා යේ ද, වහා යන අන් කිසිවෙක් වේ ද, වාතජව යයි පක්‍ෂිගාමික යයි කියනු ලැබේ ද, එසෙයින් මැ මේ දහම්හු සිතින් උපදවනු ලබන්නාහු යෙති. එහි මේ දහම්හු යෙත් නු යි ‘මනෝජව’ නම් වෙත්.
ඔහු ත්‍රිවිධ වෙති: ඡන්‍දයෙන් උපදවනලද්දාහු ද අනාවිල සංකල්ප ඇත්තාහු ද වෙති. කායික සුචරිතය වාචසික සුචරිත යැයි සත්වැදෑරුම් ද වෙති. ඔහු දස කුශලකර්‍මපථයෝ වෙත්.
එහි “මනසා චෙ පසන්නෙන” යනු: මනඃකර්‍ම යැ, ‘භාසති වා’ යනු වාක්කර්‍ම යැ, “කරෝති වා” යනු කායකර්‍ම යි. මේ පදයන්ගෙන් මේ සූත්‍රයෙහි දස කුශලකර්‍ම පථයෝ පරම වූවාහු නමුදු සිල්වත් වූ හේ වට්ටයෙහි වෙයි, ලෝකනිර්‍ය්‍යාණය පිණිස නොවේ. වාසනාභාගියසූත්‍ර වෙයි. මේ දේසනාහාර යි.
2. එහි ‘විචයහාර’ කවරෙ යැ: “මනෝපුබ්බඞ්ගමා ධම්මා” යනු මේ සූත්‍රය අෂ්ටාඞ්ගසම්‍යක්ත්‍ව ඇති කුශලමූලයෝ ද වෙත්.
3. ‘යුත්ති’ යනු: දශ කුශලකර්‍මපථයන්ගේ යම් විපාකයෙක් ඇද්ද හේ සුඛවේදනීය වූයේ (අව්‍යාපාදස්සඞ්ගමානෝ?) ‘ඡායාව අනපායිනී’ යනු අනුව යෙයි. තෙල යුක්තිය ඇති.
4. “පදට්ඨාන” යනු: අටළොස්වැදෑරුම් මනෝපවිචාරයන්ට ආසන්න කාරණ වෙයි. ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යනු: සියලු කුශලපක්‍ෂයට මේ ධර්‍මයෝ පදට්ඨාන යැ, ‘මනසා චෙ පසන්නෙන’ යනු: චිත්තයාගේ යම් ප්‍රසාදයෙක් ඇද්ද මේ පැහැදීම සද්ධින්‍ද්‍රියට පදට්ඨාන යැ. ‘භාසති වා’ යනු: සම්‍යග්වචනයට පදට්ඨාන යැ. ‘කරෝති වා’ යනු: සම්‍යක්කර්‍මාන්තයට ද සම්‍යග්ව්‍යායාමයට ද පදට්ඨාන යි.
5. “ලක්ඛණ” යනු: මෙසේ ‘පුබ්බඞ්ගමා ධම්මා’ යනු මොහු වේදනාපූර්‍වඞ්ගම වූවාහු ද වෙති. මොහු සංඥාපූර්‍වඞ්ගම වූවාහු ද වෙති. මොහු සංස්කාරපූර්‍වඞ්ගම වූවාහු ද වෙත්. තෙල දහමුන්ට යම් කිසි ධර්‍ම කෙනෙක් සහජාත වූවාහු ද ඒ සියල්ලෝ පූර්‍වඞ්ගම වෙත්. ‘තතො නං සුඛමන්වෙති’ යනු: සොම්නස ද ඔහු අනුව යෙයි, යම් සුව එළවන සෙවණැල්ලක් ඇද්ද (එමෙන්) සුවය ඔහු අනුව යෙයි.
6. එහි ‘චතුබ්‍යුහහාරය’ කවරෙ යැ: ‘මනෝපුබ්බඞ්ගමා’ යන මෙය ඒකාධිවචන නො වෙයි. කරුණු කිම යත්: මොහු සියලු මැ ෂඩ්විඥානකායයෝ වෙති. මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: යම් කෙනෙක් සුව කැමැත්තාහු වෙත් ද, ඔහු සිත පහදවා ගනිති, යන මේ මෙමැ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය යි. අර්‍ත්‍ථ පළමු මැ දක්වන ලද්දේ යි.