7. 17.
එහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍රය කවරෙ යැ:
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යන (උදාන) ගාථාව යැ. ‘දදතො’ යි දානමය පුණ්‍ය ක්‍රියාවස්තුව කියන ලද, ‘සංයමතො වේරං න චීයති’ යි සීලමයපුණ්‍ය ක්‍රියාවස්තුව කියන ලද, ‘කුසලො ච ජහාති පාපකං’ යී ලෝභයාගේ ද මෝහයාගේ ද ව්‍යාපාදයාගේ ද ප්‍රහාණය වදාළහ. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි ලෝභයාගේ ද මෝහයාගේ ද ව්‍යාපාදයාගේ ද ඡන්‍දරාගවිනය වදාළහ යි.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යි අලෝභකුශලමූලය වෙයි. ‘සංයමතො වේරං න චීයති’ යි අදෝසකුශලමූලය වෙයි. ‘සංයමතො වේරං න චීයති’ යි හැම කල්හි අව්‍යාපාදභාවයෙන් (පුද්ගල අකුශල) වෛර නැත්තාහු සතුරන් නැත්තාහු වෙති. ‘කුසලො ච ජහාති පාපකං’ යි ඥානෝත්පාදයෙන් අඥානනිරෝධය වෙයි.
‘ස නිබ්බුතො’ යි මාර්‍ගඵලය ද අනුපාදිසේසනිබ්බානධාතුව ද ප්‍රකාශ කෙරෙයි. දානයෙන් ඖදාරික ක්ලේශයන්ගේ ප්‍රහාණය වදාරයි, ශීලයෙන් මධ්‍යම ක්ලේශයන්ගේ ද ප්‍රඥායෙන් සියුම් ක්ලේශයන්ගේ ද ප්‍රහාණය වදාරති. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි (කතා ච භූමි?) තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත අර්‍හත්‍වභූමිය වදාරනසේක.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති, කුසලො ච ජහාති පාපකං’ යි මාර්‍ගය වදාරන ලද්දේ ය, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි මාර්‍ගඵල වදාළහ.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො’ යන තුන් පදයෙන් ලෞකික කුශලමූලය වදාරනලද, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’යි ලෝකෝත්තර කුශලමූලය වදාරනලදී.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි පෘථග්ජනභූමිය පවසති, ‘කුසලො ච ජහාති පාපකං’ යි ශෛක්‍ෂභූමිය පවසති, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි අශෛක්‍ෂභූමිය වදාරනලද්දීය.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි (මග්ගනියා?) මාර්‍ගයට හේතු වූ ප්‍රතිපත් වදාරන ලද්දීය. ‘කුසලො ච ජහාති පාපකං’ යි සේඛවිමුත්ති ද ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි අසෙඛවිමුත්ති ද වදාරනලදී.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි දානකථාව ද සීලකථාව ද සග්ගකථාව ද යන ලෞකික ධර්‍මදේශනාව වදාළහ. ‘කුසලො ච ජහාති පාපකං’ යි ලෝකයෙහි ආදීනවදර්‍ශනය ද ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි සාමුක්කංසික ධර්‍මදේශනාප්‍රතිවේධය ද වදාළහ.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යි ප්‍රාණීන්ට අභයදානයෙන් ප්‍රාණවධයෙන් වෙන්වීමෙන් සත්‍වයන්ට අභයදානය කෙරෙයි, මෙසේ සියලු ශික්‍ෂාපද දැක්වියැයුතු. ‘සංයමතො වේරං න චීයති’ යි සීලයෙහි පිහිටා සිත සංයම කෙරෙයි, සංවර වූ ඔහුට (ශික්‍ෂාපද) පිරීමට යෙයි. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි රාගවිරාග චේතෝවිමුත්තිය අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්තිය ද යන දෙවැදෑරුම් විමුක්තීහු වදාරනලද්දාහු වෙති. මේ සූත්‍රනිර්දේශ යි.
1. එහි ‘දේසනා’ කවරැ: මේ සූත්‍රයෙහි කුමක් දෙසනලද ද යත්: දිව්‍ය මනුෂ්‍ය යන දෙවැදෑරුම් සුගතීහු ද දිව්‍යපඤ්චකාමගුණයෝ ද මනුෂ්‍යපඤ්චකාමගුණයෝ ද දේශිත දෙපදයෙන් නිර්‍දෙශය වේ (?) ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති, සංසමතෝ වේරං න චීයති, කුසලො ච ජහාති ස නිබ්බුතො’ යි සෝපාදිසේස අනුපාදිසේස යන නිර්‍වාණධාතු දෙක දෙසනලදහ. මේ දේසනා යි.
2. ‘විචය’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යන මේ පළමුවන පදයෙන් දානමය පුණ්‍යක්‍රියාවස්තුව වදාරනලද, එයින් ඔහුට ආනන්තරිය කුශලධර්‍මයන්ගේ (උත්පාදය වදාරන ලද,) දෙවැනි පදයෙන් ... සතරවැනි පදයෙන් රාගදෝසමෝහක්‍ෂයෙන් රාග විරාග චේතෝවිමුත්තිය ද මෝහක්‍ෂයෙන් අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්තිය ද වදාරනලද වෙයි. මේ විචයහාර යි.