7. 14.
එහි සංකිලෙසභාගිය නිබ්බේධභාගිය අසේඛභාගිය ද වූ සූත්රය කවරෙ යැ: “මේ සත්ව ලෝක තෙමේ (ඥාතිව්යසනාදීන්) උපන් ශෝකසන්තාප ඇත්තේ” යැ යනු පටන් “යම් කිසි මහණ කෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි රූපභවයෙන් හෝ අරූපභවයෙන් භවයාගේ නොහොත් භවදෘෂ්ටියෙන් භවයාගේ මිදීම (ශුද්ධිය) කියත් ද” යනු දක්වා සංකිලෙසභාගිය වෙයි. “ඛන්ධාදි” උපධීන් නිසා මේ සසරදුක හටගනී.” (යනු සංකිලේස යි) “භවතෘෂ්ණාව ප්රහීණ වෙයි, උච්ඡේදය ද නො කැමැති වෙයි” යන මේ නිබ්බේධ යැ. “ඒ කෙලෙස්පිරිනිවනින් නිවුණු මහණහට උපාදාන රහිත හෙයින් පුනර්භවය නො වේ.” “සුඛදුක්ඛාදියෙහි තාදී වූයේ සියලු භවයන් ඉක්මැවූයේ යැ” යනු ආසේඛභාගිය යි.
එහි “සන්තාපජාතො” යනු: රාගයෙන් උපන් සන්තාප යැ ද්වේෂයෙන් මෝහයෙන් උපන් සන්තාප යි. “ලෝකෝ සන්තාපජාතො” යී ඒ සත්වයන්ගේ ස්ථානය දක්වයි. ඵස්සය තෙවැදෑරුම් යැ: සුඛවේදනීය යැ දුක්ඛවේදනීය යැ අදුක්ඛමසුඛවේදනීය යි. එහි සුඛවේදනීය ඵස්සය රාගසන්තාප යැ, දුක්ඛවේදනීය ඵස්සය දෝසසන්තාප යැ, අදුක්ඛම සුඛවේදනීය ඵස්සය මෝහසන්තාප යි. ගෝමගැ වැඩහුන් බුදුහු හත්ථකආළවක කුමරුට මෙසේ වදාළහ: “ගැහැවිපුත් රාගයෙන් උපන් ද්වේෂයෙන් උපන් මෝහයෙන් උපන් යම් සන්තාපයකින් දුකසේ හොවී ද ඒ සන්තාපයෝ මට නො වෙති.”
“තමා විසින් පහස්නාලද දුක (මෙබන්දක් සතුරකුටත් නො වේව’ යි) වැලැපෙමින් කියයි. (‘රෝගං’ යන පාඨයෙහි පහස් හේතුයෙන් උපදනා වේදනා සංඛ්යාත රෝගය ආත්මවශයෙන් කියයි.) යනු: ඒ සන්තාපයන් විසින් තවනලදුයේ සඤ්ඤාවිපල්ලාස චිත්තවිපල්ලාස දිට්ඨිවිපල්ලාස යන ත්රිවිධ විපර්ය්යාසයට පැමිණෙයි. එහි අශුභයෙහි ශුභ යයි සඤ්ඤාවිපල්ලාස යැ, දුඃඛයෙහි සුඛ යයි චිත්තවිපල්ලාස යැ, අනිත්යයෙහි නිත්ය යැ අනාත්මයෙහි ආත්ම යයි දිට්ඨීවිපල්ලාස යි.
චිත්තසඤ්ඤාදිට්ඨි යම්සේ විපල්ලාස වෙත් ද, ඔහු ත්රිවිධ විතර්කයෝ වෙති, චිත්තවිතර්කය විපල්ලාස යැ, සංඥාවිතර්කය විපල්ලාස යැ, දෘෂ්ටිවිතර්කය විපල්ලාස යි. එහි අවිජ්ජාවිපල්ලාසය (ගෝචරා ගතිපතෙය්යභූමි?) යම් සේ ඒ අවිද්යාව හැඳිනගනී ද වෙසෙසින් දැනගනී ද යම්සේ හඳුනන්නේත් දැනගන්නේත් වේ ද යම්සේ රුචිකෙරේ ද සිතා ද මේ සතර විපල්ලාසයෝ යැ. සත්වයෝ යම් විපල්ලාසයකින් රෝගයක් බඳු වූ ගඬක් බඳු වූ සිව්වැදෑරුම් ආත්මභාවවස්තුව ආත්මයයි කියත් ද එබඳු විපල්ලාසයෝ යි. “රෝදං වදති අත්තතෝ” යි මේ ආවට්ට යි.
“යම් යම් පරිද්දෙකින් තමාගේ දුකට පිළියම් සිතත් ද ඒ දුකට එයින් අන්පරිද්දෙකින් පිළියම් කටයුතු වෙයි” යනු ‘ශුභ’ යයි සිතයි, එපරිදි ශුභ නො වෙයි, එසෙයින් සුඛ යැ නිත්ය යැ ආත්ම යයි සිතයි, (එපරිදි නො වේ.) හේ අන්පරිද්දෙකින් වන්නාවූ මැ අනාගත භවය පතයි. එයින් කියලු ලැබේ, “භවරාග” යයි. “භවමෙවාභිනන්දති” යනු: යමක් අභිනන්දනා කෙරේ ද එය දුක යයි පඤ්ච ස්කන්ධයන් දක්වයි. ඒ හේතුයෙන් යම් ශෝක පරිදේව දුඃඛයක් වේද ඔහුට ඒ දුක වන්නේය (තස්ස හි භාවේස්සති?) මෙතෙකින් සංකිලේසය වේ. තුන් සන්තාපයන්ගේ ප්රහාණය පිණිස මගබඹසර වෙසෙයි, (එයින්) ඡන්දරාගවිනය වේ.
“උපධී හි පටිච්ච දුක්ඛමිදං භවති” යනු: යම් කෙනෙක් භවය මැ කැමැති වෙත් ද, එය (විපරිණාමස්වභාව හෙයින්) බියෙකි. යම් (ජරාමරණාදියෙකින්) බිය වේද, එය දුකෙකි. ඒ දුඃඛයාගේ ප්රහාණය වදාළහ, සර්වප්රකාරයෙන් උපාදානයන්ගේ ක්ෂය වීමෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ’ යි.