7. 15.
“පුද්ගලයෝ සතර දෙනෙකි: අනුසෝතගාමී යැ පටිසෝතගාමී යැ ඨිතත්ත යැ ඕඝතරණය කළ පරතෙරට ගිය නිවන්තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයි.
එහි යමෙක් අනුසෝතගාමී වේ ද, මෙතෙම පස්කම් සේවනය කෙරෙයි, පව්කම් ද කෙරෙයි, යම් කාමසේවනයක් ඇද්ද මේ ලෝභඅකුශලමූල යැ, ඒ ලෝභය මැ තණ්හා යැ, හේ ඒ කාමයන් විසින් ගෙනයනුලැබෙයි. එහෙයින් අනුසෝතගාමී යයි කියනුලැබේ. යම් පුඟුලෙක් ඒ තෘෂ්ණාවන් විසින් ගෙනයනුලබන්නේ ඒ කාමහේතුයෙන් කයිනුදු බසිනුදු පව්කම් කෙරේ ද, මේ තෙමේ පව්කම් කෙරේ යයි කියනු ලැබේ. ඔහුට සක්කාය දිට්ඨි යැ, විචිකිච්ඡා යැ සීලබ්බතපරාමාස යැ යන තුන් ස්‍රෝතස්හු වෙති. මේ තුන් ස්‍රෝතසුන් කරණ කොට කාමධාතු රූපධාතු අරූපධාතු යන ත්‍රිවිධ ධාතුයෙහි උපදී.
ඒ ප්‍රතික්‍ෂේපයෙන් යමෙක් කාමයන් සේවනය නො කෙරේ ද, යමෙක් ශීලව්‍රත පරාමර්‍ෂ නො කෙරේ ද, යමෙක් සත්කායදුෂ්ටිප්‍රහාණය පිණිස කාමයන්හි යථාභූත ව ආදීනව දකී ද, හේ ඒ (අකුශල) ධර්‍මයන් නො ද සේවනය කෙරෙයි, ඒ හේතුයෙන් නිවන්තෙලෙහි සිටී. ‘බ්‍රාහ්මණ’ යනු රහත්හු යැ, එහි රහත්හු ඒ ඕඝයාගේ පාරයට ගියාහු වෙති. පාරයට ගියහුගේ ‘ථලෙ තිට්ඨති’ යනු සෝපාදිසේසනිබ්බානධාතු යි.
‘අනුසෝතගාමී’ යයි දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ සංයෝජනයන්ගේ අප්‍රහාණය කීහ. ‘පටිසෝතගාමී’ යයි දෘෂ්ටිය හා ඒකත්‍වයට ගිය ක්ලේශයන්ගේ ප්‍රහාණය වදාළහ. ඨිතත්ත පුද්ගලයාගෙන් පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය වදාළහ. එහි අනුසෝතගාමී පුද්ගලයාගෙන් (මග්ගරූපීමාහ?) පටිසෝතගාමීහුගෙන් ද සිටිපියවි ඇතියහුගෙන් ද මාර්‍ගය වදාළහ. පාරයට ගියහුගෙන් අශෛක්‍ෂ ශ්‍රාවකයෝ ද සම්මා සම්බුදුහු ද වදාරනලද්දාහු යැ. අනුසෝතගාමීහුගෙන් සත්කායසමුදයගාමිනී ප්‍රතිපදාව වදාළහ. පටිසෝතගාමීහුගෙන් සිටිපියවි ඇතියහුගෙන් ද සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාව වදාළහ. පාරයට ගියහුගෙන් අශෛක්‍ෂ වූ දස අර්‍හත්‍වධර්‍මයෝ වදාරනලද්දාහ. මේ සූත්‍රාර්‍ත්‍ථයි.
1. එහි දේසනා කවරැ: මේ සූත්‍රයෙහි සතර ආර්‍ය්‍යසත්‍යයෝ ද ත්‍රෛධාතුක ලෝකය ඉක්මැවීම ද දෙසන ලදහ.
2. එහි විචයහාර කවරෙ යැ: යමෙක් කාමයන් සේවනය කෙරේ ද හේ පව්කම් කරන්නේ යයි ද යමෙක් කාමයන් නො සෙවුනේ ද හේ පව්කම් නො කරන්නේ යයි ද යමෙක් මේ දෙ භූමියෙන් උත්තීර්‍ණ වූයේ පාරයට ගියේ යයි ද යම් විමංසාවක් ඇද්ද මේ විචය යි.
3. යුත්ති යනු: සූත්‍රයන්හි ලා යෙදේ ද නොයෙදේ දැයි යම් විමංසාවක් ඇද්ද, මේ යුත්තිහාර යි.
4. පදට්ඨාන යනු: අනුසෝතගාමී යනු සත් සංයෝජනයන්ට පදට්ඨාන යැ, අකුසල් කිරීම අකුශලමූලයන්ට පදට්ඨාන යැ, පටිසෝතගාමී යනු යථාභූතදර්‍ශනයට පදට්ඨාන යැ, ඨිතත්ත යනු අසංහාරි ය (පෙරළා නො එන?) මාර්‍ගයට පදට්ඨාන යැ, පාරගතො යනු ක්‍ෂීණාශ්‍රවභූමියට පදට්ඨාන යි.
5. එහි ලක්ඛණහාර කවරෙ යැ: යමෙක් තෘෂ්ණාවශයෙන් අනුසෝතයට යේ ද, (හේ) සියලු මැ ක්ලේශයන්ගේ වශයෙන් යෙයි. යමෙක් තණ්හායෙන් පටිසෝතයට (යෑමට) වෑයම් කෙරේ ද හේ සියලු මැ ක්ලේශයන්ගේ පටිසෝතයට වෑයම් කෙරෙයි, යමෙක් තමා සිටියේ කයිනුදු හේ සිටියේ යැ වචනයෙන් හා චිත්තයෙනුදු සිටියේ යි. මේ ලක්ඛණහාර යි.
6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් අනුසෝතගාමිනී පටිපදායෙහි නො ඇලෙන්නාහු ද, ඔහු පටිසෝතයට වෑයම් කරන්නාහු යයි (යාව කදාචි භූමියං?) මේ අදහසයි.
7. ආවට්ට යනු: මේ සූත්‍රයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දේශනාකරන ලද්දාහු යැ.
8. එහි විභත්තිහාර කවරෙ යැ: යමෙක් කාමයන් සේවනය කෙරේ ද පව්කමුදු කෙරේ ද, හේ අනුසෝතගාමී යයි ඒකාන්තයෙන් නො වේ. සෝවාන් පුඟුල් ද කාමයන් සේවනය කෙරෙයි, තද්භාගිය වූ පව්කමුදු කෙරෙයි, “කිඤ්චාපි සො කම්මං කරෝති පාපකං” යි සූත්‍රයෙහි දැක්වූ පරිදි හේ නො ද අනුසෝතගාමී වෙයි. මෙය විභාග කොට ප්‍රකාශ කළයුතු යැ. කාමයන් නො ද සෙවුනේ යැ, පව්කම් නො ද කෙරෙයි, (එහෙත්) ඒකාන්තයෙන් පටිසෝතගාමී නො ද වෙයි. කාමයන්හි වීතරාග වූ ශාසනයෙන් බැහැර වූ සියලු දෙනෙ නො ද කාමයන් සේවනය කෙරෙයි, ඔහු නො ද පව්කම් කෙරෙති. (ඔහු) අනුසෝතගාමී පටිසෝතගාමී ද වෙත්. මේ විභත්තිහාර යි.
9. එහි පරිවත්තනහාර කවරෙ යැ: ප්‍රතිපක්‍ෂය දක්වන ලද්දේ යි.
10. වෙවචන යනු: කාමයන් කෙරෙහි වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ ද වෙති, රූප ශබ්ද ගන්‍ධ රස ස්පර්‍ශ පුත්‍රදාර දාස කම්කරු පුත්‍රදාර දාස කම්කරු පුරුෂයෝ ද අයැතියෝ යි.
11. පඤ්ඤත්ති යනු: සියලු පුහුදුන්හු ඒකත්තතායෙන් පනවන ලදහු යැ, ‘අනුසෝතගාමී’ යනු ක්ලේශසමුදාචාරප්‍රඥප්තියෙන් ප්‍රඥප්ත යැ, යම් ශෛක්‍ෂ පුද්ගල කෙනෙක් වෙද්ද ඔහු නිබ්බාන පඤ්ඤත්තියෙන් ප්‍රඥප්ත යැ, යම් අනාගාමීහු වෙද්ද ඔහු අසංහාරිය පඤ්ඤත්තියෙන් පනවනලදහුයි. මේ පඤ්ඤත්තිහාර යි.
12. ‘ඕතරණ’ යනු: යමෙක් අනුසෝතගාමී වේ ද හේ දුක්ඛ යැ, ඒ අනුසෝතගාමිහුගේ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ ධර්‍මයෝ දුක්ඛසමුදය යැ, යම් රූපයක් ඇද්ද මේ රූපස්කන්‍ධ යැ, මෙසේ පඤ්චස්කන්‍ධයෝ මැ පටිච්චසමුප්පාද යැ, ඒ ක්ලේශයෝ සංස්කාරස්කන්‍ධයෙහි බැසගත්තාහු යැ, ධම්මායතන ධම්මධාතු ඉන්‍ද්‍රියයන්හි දු ප්‍රඥප්තයෝ යි.