7. 11.
පුද්ගලයෝ සතර දෙනෙකි: (නීචකුලයෙහි ඉපදීම ආදි) අඳුරෙන් යුක්ත වූ (කාය දුශ්චරිතාදියෙන් යළි) නිරයඅඳුරට යන පුඟුලා යැ ... (යනාදි චතුක්කංගුත්තරයෙහි සූත්‍රය.) එහි ‘තම’ නම් කවරෙ යැ: යම් තමසෙක් අන්‍ධකාරයෙක් වේ ද එය යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: “බිය එළවන ඒ අඳුරෙහි පුරුෂ ස්වකීය ස්වභාවය පවා නො දකී ද, එසෙයින් ම නො දැනීමෙන් තම සංඛ්‍යාත මොහඳුර ඇතියේ සවිපාක වූ ලාමක අකුශලකර්‍මය නො දකී? මෙබඳු ලක්‍ෂණ ඇති අවිජ්ජා මෝහ නම් වූ නො දැනීම ‘තම’ නම් වේ. යම් හෙයකින් සත්‍වයෝ යථාභූත වැ (ඇතිසැටියෙන්) නො දනිත්ද, එහෙයින් ‘තම’ යයි කියනු ලැබේ.
එය මංසචක්ඛු දිබ්බචක්ඛු පඤ්ඤචක්ඛු යන තුන් චක්‍ෂුන්ගේ අඳුර යැ, මෙහි මේ තුන් චක්‍ෂුන්ගේ නො දැනීම ‘තම’ යයි දක්වනු ලැබේ.
එහි අඤ්ඤාණ සංඛ්‍යාත අදර්‍ශනය කවරෙ යැ: (අථ නිස්සයෙ?) පූර්‍වාන්තයෙහි නොදැනීම යැ අපරාන්තයෙහි නො දැනීම යැ පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම යැ, හේතුයෙහි නො දැනීම යැ ප්‍රත්‍යයෙහි නො දැනීම යැ යන යම් නො දැනීමෙක් ඇද්ද එයයි. ඒ නො දන්නහුගේ (සමාධිභූතස්ස?) තෙල ඵලය වෙයි: මේ සෙවියැ යුතු යැ, මේ නො මෙනෙහි කළයුතු යැයි යම් නො දැනීමක් ඇද්ද ඒ පුද්ගල ඒ නොදැනීම හේතුකොට තමසින් යුක්ත යයි දක්වනු ලැබේ. (සො තෙ නමෙන ... වුච්චති තමෝති?) හෙතෙම නො නසනලද සමුච්ඡේද නො කරනලද ඒ තමස හේතු කොට එය (නොදැනීම) පරම කොට ඇත්තේ එය පරායන කොට ඇත්තේ වෙයි. මේ පුද්ගල ‘තමෝතමපරායන’ යයි කියනු ලැබේ. (පරායනෝ යෙව ධම්මෝ මනසිකාතබ්බො?) යමෙක් තම සංඛ්‍යාත නො දැනීම දුරු කෙරේ ද දැනීමට සිත එළවා ද ඔහුට ඒ ධර්‍මයෝ දර්‍ශනය වටහත්. හෙතෙම ශ්‍රැතමය ප්‍රඥායෙන් දකී.
එහි ‘තමෝජෝතිපරායන’ පුද්ගල කවරෙ යත්: හෙතෙම ඒ ප්‍රඥාවශයෙන් පවතී. මෙසේ පවත්නාවූ ඔහුට (ස්වර්‍ග සංඛ්‍යාත අලෝකය) පරායන වෙයි. මේ පුද්ගල (අඳුරෙන් එලියට යන) තමෝජෝතිපරායන යයි කියනු ලැබේ.
එහි ජෝතිජෝතිපරායන (එළියෙන් එලියට යන) පුද්ගල කවරෙ යත්: එහි ලා කියනු ලැබේ. ජෝති නම්: ඒ තමසට ප්‍රතිපක්‍ෂවශයෙන් යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, යටත් පිරිසෙයින් ඥානාලෝකය යි. ඒ ඇසූ දහම් ඇති පුද්ගල ‘තමෝජෝතිපරායන’ යැ, එහි මේ පුද්ගල තමෝජෝතිපරායන යයි කියනු ලැබේ. හේ ඉදින් එබඳු කලණ මිතුරකු ලබා ද, යමෙක් ඔහු අකුශලයෙන් වළකා ද භාවිතකුශලතායෙහි යොදවා ද, එබඳු වූ කලණ මිතුරෙකි.
මෙසේත් සදහම් දෙසයි: ‘මේ දහම් කුසල් යැ මේ දහම් අකුසල් යැ මේ දහම් සාවද්‍ය යැ මේ දහම් අනවද්‍ය යැ මේ දහම් සෙවියැයුතු යැ මේ දහම් නො සෙවියැයුතු යැ මේ දහම් භජනය කළ යුතු යැ මේ දහම් භජනය නොකළයුතු යැ මේ දහම් උපදවා විසියැයුතු යැ මේ දහම් උපදවා නො විසියැයුතු යැ මේ දහම් මෙනෙහි කළයුතු යැ මේ දහම් නො මෙනෙහි කළයුතු යැ’ යි (පච්චතෙ සඤ්ඤාය යථා සඤ්ඤායති සතින්‍ද්‍රියානි?) හේ මෙසේ දැනගනී: ‘මේ දහම්හු කුශලයෝ යැ මේ දහම්හු අකුශලයෝ යැ මේ දහම්හු සාවද්‍යයෝ යැ මේ දහම්හු අනවද්‍යයෝ යැ මේ දහම්හු සේවිතව්‍යයෝ යැ මේ දහම්හු න සේවිතව්‍යයෝ යැ මේ දහම්හු වැඩියයුත්තාහු යැ මේ දහම්හු නො වැඩියැයුත්තාහු යැ මේ දහම්හු උපදවා විසිය යුත්තාහු යැ මේ දහම්හු උපදවා නො විසියැයුත්තාහු යැ මේ දහම්හු මෙනෙහි කළයුත්තාහු යැ මේ දහම්හු නො මෙනෙහි කළයුත්තාහු යැ’ යි. හේ ඒ දහම් අසනු කැමැති වෙයි. ඇසීමට කන නමයි, දැනගැනීමට සිත එළවයි. ඔහුට ඒ ධර්‍මයෝ දැනීම වටහත්. හේ ශ්‍රැතමයඥානයෙන් සමන්‍විත වූයේ, හේ ඒ ප්‍රත්‍යය වශයෙන් පවතී. මෙසේ පවත්නාවූ හෙතෙම එය පරම කොට ඇත්තේ එය පිහිට කොට ඇත්තේ වෙයි. මේ පුද්ගල තමෝජෝතිපරායන යයි කියනු ලැබේ.