7. 1.
ප්‍රකීර්‍ණක නිර්‍දෙශය
1. ධ්‍යානය විරාග යැ. සතර ධ්‍යානයෝ විස්තර කළයුත්තාහු යැ. ඒ ධ්‍යානයෝ බෝධ්‍යඞ්ග විප්‍රයුක්ත වූවාහු ද බෝධ්‍යඞ්ග සම්ප්‍රයුක්ත වූවාහු දැ යි දෙවැදෑරුම් වෙති. එහි බෝධ්‍යඞ්ග විප්‍රයුක්ත වූවෝ ශාසනයෙන් බැහැර වූවාහු යැ, බෝධ්‍යඞ්ග සම්ප්‍රයුක්ත වූවෝ ආර්‍ය්‍ය පුද්ගලයන් පිළිබඳ වූවාහු යි.
2. එහි පුද්ගලමූලයෝ සදෙනෙක් වෙති: රාගචරිත යැ, දෝසචරිත යැ, මෝහචරිත යැ, රාගදෝසචරිත යැ, රාගමෝහචරිත යැ, දෝසමෝහචරිත යැ, සමභාගචරිත යි. මෙසේ ධ්‍යානයට සමවන් මේ පුද්ගලයන්ට පඤ්චනීවරණයෝ ප්‍රතිපක්‍ෂ වෙති. ඔවුන්ගේ නැසීම පිණිස අසමර්‍ත්‍ථ වූයේ තුන් අකුශලමූලයන් නිගන්නේ වෙයි: ලෝභඅකුශල මූලයෙන් අභිධ්‍යාවත් උද්ධච්චයත් උත්ප්ලවනය වනුයේ අලෝභ කුශලමූලයෙන් එය නිගනී. කුක්කුච්චයත් විචිකිච්ඡාවත් මෝහපක්‍ෂ යැ. එය අමෝහ කුශලමූලයෙන් නිගනී. ද්වේෂයත් ථීනමිද්ධයත් ද්වේෂපක්‍ෂයෙහි වූයේ යැ, එය අදෝසකුසලමූලයෙන් නිගනී.
එහි අලෝභයාගේ පාරිපූරිය පිණිස නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය විතර්‍ක කෙරෙයි. අදෝසයාගේ පාරිපූරිය පිණිස අව්‍යාපාදවිතර්‍කය විතර්‍ක කෙරෙයි. අමෝහයාගේ පාරිපූරිය පිණිස අවිහිංසා විතර්‍කය විතර්‍ක කෙරෙයි.
එහි අලෝභයාගේ පිරීම පිණිස කාමයන්ගෙන් වෙන්වූයේ වෙයි. එහි අදෝසයාගේ පිරීමට ද අමෝහයාගේ පිරීමට ද ලාමක අකුශලධර්‍මයන්ගෙන් වෙන්වූයේ වෙයි.
3. විතර්‍ක සහිත වූ විචාර සහිත වූ නීවරණයන්ගේ වෙන්වීමෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පළමුවන දැහැනට පැමිණ වාස කෙරෙයි.
විතක්ක යනු: නෙක්ඛම්මවිතක්ක අව්‍යාපාදවිතක්ක අවිහිංසාවිතක්ක යන තුන් විතර්‍කයෝ යි. එහි අරමුණෙහි සිත පළමුව නඟාලීම ‘විතක්ක’ නම් වෙයි, ලැබූ අරමුණෙහි සිත හැසිරැවීම ‘විචාර’යැ, ඒ මෙසේ යැ: පුරුෂයෙක් දුරින් එන පුරුෂයකු දකී, තෙලෙ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යැයි තව නො දනී. යම් කලෙක වනාහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යැ මෙබඳු වර්‍ණ ඇත්තේ හෝ මෙබඳු සටහන් ඇත්තේ හෝ යැයි දැනගනී ද, මෙසේ විතර්‍ක කරනුයේ මත්තෙහි විමසයි: කිමැ මේ තෙමේ සිල්වත් ද නොහොත් දුශ්ශීල ද ධනවත් හෝ දුප්පත් හෝ දැයි මෙසේ විචාරය විතර්‍කයෙහි පිහිටුවයි. විචාරය අරමුණෙහි හසුරුවනු ලබන්නේ ද අනුව පවත්නේ ද වේ.
යම්සේ පක්‍ෂි තෙම පළමුව වෑයම් කෙරේ ද, පසුව වෑයම් නො කෙරේ ද, ආයුහනය (වෑයම් කිරීම) යම්සේ ද විතර්‍කය එබඳු යැ, පක්‍ෂප්‍රසාරණය යම්සේ ද, විචාරය එබඳු යැ, අනුපාලන විතර්‍කන විවරණ විචාරණ විතර්‍කණ අනුවිවරණ විචාරණ කෙරේයයි.
විතර්‍කය කාමසංඥාවට ප්‍රතිපක්‍ෂ යැ, විචාරය ව්‍යාපාදසංඥාවට ද විහිංසාසංඥාවට ද ප්‍රතිපක්‍ෂ යැ, විතර්‍කයන්ගේ කර්‍මය අකුශලය නො මෙනෙහි කිරීම යැ, විචාරයන්ගේ කර්‍මය (ජෙට්ඨානං) ද සංවාරණ යැ.
යම්සේ පලික? නො බෙණෙමින් සජ්ඣායනා කෙරේ ද, විතර්‍කය එබඳු යැ, යම්සේ ඒ සජ්ඣායනය මැ නුවණින් දකී ද, විචාරය එබඳු යි. අපරිඥාව යම්සේ ද විතර්‍කය එබඳු යැ, පරිඥාව යම්සේ ද විචාරය එබඳු යි. නිරුක්තිපටිසම්භිදායෙහි ද පටිභානපටිසම්භිදායෙහි ද විතර්‍කය වෙයි. ධම්මපටිසම්භිදායෙහි ද අත්‍ථපටිසම්භිදායෙහි ද විචාරය වෙයි. චිත්තයාගේ කල්‍යතාකෞශල්‍යය (වශීභාවයෙන්, ප්‍රගුණ කළ බව) විතර්‍ක යැ, චිත්තයාගේ අභිනීහාරයෙහි කුශලබව විචාර යැ, මේ කුශල යැ මේ අකුශල යැ මේ භාවිතව්‍ය යැ මෙය ප්‍රහාතව්‍ය යැ මේ ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ යනු විතර්‍ක යැ, එපරිදි ප්‍රහාණය ද භාවනාව ද ප්‍රත්‍යක්‍ෂ කිරීම ද විචාරය යි.
මේ විතර්‍ක විචාරයන්හි සිටියහුට කායික වූ ද චෛතසික වූ ද දෙවැදෑරුම් දුක නූපදී, කායික වූ ද චෛතසික වූ ද දෙවැදෑරුම් සුවය උපදී, මෙසේ විතර්‍කයෙන් උපන් චෛතසික සුඛය ප්‍රීතිය යි, කායික සුඛය කායික වු මැ සුඛය යි. එහි චිත්තයාගේ යම් ඒකාග්‍රතායෙක් වේ ද මේ සමාධි යි. මෙසේ ප්‍රථමධ්‍යානය පඤ්චාඞ්ගයෙකින් ප්‍රහීණ වූයේ පඤ්චාඞ්ගයෙකින් සමන්‍විත වූයේ වේ.
ඒ විතර්‍කවිචාරයන් ම නිරතුරු ආසේවනය හේතුකොටගෙන ඔහුගේ තත්ප්‍රවණ වූ මනස වෙයි. ඔහුට විතර්‍කවිචාරයෝ ඖදාරික ව වැටැහෙත්, යම් ප්‍රීතිය හා සුඛයකුත් නෛෂක්‍රම්‍යයකුත් ඖදාරික වේ ද, එතෙකුදුවත් ඔහුට විචාරය අරමුණුකොට සමාධියෙන් උපන් ප්‍රීතියත් රතියත් උපදී. ඒ ප්‍රීතිරති යන මොවුන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සිත පහදී විතක්ක විචාර යන යම් ධර්‍මයෝ දෙදෙනෙක් සිහිකළ යුත්තාහු ද, (පච්චුප්පන්නදරණිතබ්බං?) ඔවුන්ගේ සන්හිඳීමෙන් ඒකෝදිභාවයෙන් වූ සිතෙහි එකඟබව වෙයි. ඔහුට ඒකෝදිභාවය, හේතුකොට ප්‍රීතිය පිරීමට යෙයි. යම් ප්‍රීතියක් වේ ද එය සෝමනස්සින්‍ද්‍රිය යැ, යම් සුඛයෙක් වේ ද එය සුඛින්‍ද්‍රිය යැ, යම් සිතෙහි එකඟබවක් ඇද්ද මේ සමාධිය යි. ඒ දෙවැනි දැහැන සිව් අඟෙකින් සමන්‍වාගත වේ. හේ ප්‍රීතියගේ විරාගයෙන් (යාති ඕජහි ජල්ලසංගතං?)
ඒ දෙවැනි දැහැනෙහි සොම්නස් සහගත සිත උපාදානයෙකැයි ද හේ එය විමසනුයේ උපේක්‍ෂාව මැ මෙනෙහි කෙරෙයි. හේ ප්‍රීතියගේ විරාගයෙන් උපේක්‍ෂා ඇති වැ වාස කෙරෙයි, යම් පරිදි ප්‍රීතිය හේතුකොටගෙන සුවය එළවනලද ද ඒ සුවය කයින් විඳි සම්‍යක් ඥාන ඇති වැ වාස කෙරෙයි. යම් සතිසම්පජඤ්ඤයෙකින් උපේක්‍ෂාව පිරීමට යේ ද එයයි. මේ තුන්වැනි දැහැන සතර අඟෙකින් සමන්‍වාගත වේ.