3. තෘතීය භූමි - සුත්තාධිට්ඨාන
එහි සුත්තාධිට්ඨාන කවරෙ යත් : 1. ලෝභාධිට්ඨාන යැ 2. දෝසාධිට්ඨාන යැ. 3. මෝහාධිට්ඨාන යැ 4. අලෝභාධිට්ඨාන යැ 5. අදෝසාධිට්ඨාන යැ 6. අමෝහධිට්ඨාන යැ 7. කායකම්මාධිට්ඨාන යැ 8. වාචාකම්මාධිට්ඨාන යැ. 9. මනෝකම්මා ධිට්ඨාන යැ. 10. සද්ධින්‍ද්‍රියාධිට්ඨාන යැ 11. විරියින්‍ද්‍රියාධිට්ඨාන යැ 12. සතින්‍ද්‍රියාධිට්ඨාන යැ 13. සමාධින්‍ද්‍රියාධිට්ඨාන යැ 14. පඤ්ඤින්‍ද්‍රියාධිට්ඨාන යි.
(1) එහි ලෝභාධිට්ඨාන කවරැ :
1. කාමාදි අකුශලවිතර්‍කයෙන් මැඩුණු දැඩි වූ කාමරාග ඇති අරමුණු ශුභවශයෙන් බලන සත්ත්‍වහට බෙහෙවින් තෘෂ්ණාව වැඩෙයි, තෙල පුද්ගල තෘෂ්ණාබන්‍ධනය දැඩි කරන්නේ යි.
‘විතක්කපමථිතස්ස’ යනු කාමරාග යැ, ‘සුභානුපස්සිනෝ’ යනු කාමවස්තු යැ. ‘භිය්‍යො තණ්හා පවඩ්ඪති’ යනු කාමතෘෂ්ණා යැ, එස දළ්හං කරෝති බන්‍ධනං’ යනු රාගය යි. මෙසේ යම් යම් ධර්‍මයෙක් මූලවශයෙන් තබන ලද ද (?) මෙහි ඒ ධර්‍මය මැ දැක්විය යුතු (?) බුදුහු එක් ධර්‍මයක් අරබයා අන් දහමක් නො දෙසනසේක. යමෙක් කාමවිතර්‍කය විතර්‍ක කෙරේ ද, ඒ විතර්‍කය මැ කාමවිතර්‍කවශයෙන් දක්වනු ලැබේ. ‘තිබ්බරාගස්ස’ යී ඒ විතර්‍කයාගේ මැ වස්තුව දක්වති. ‘සුභානුපස්සිනෝ භිය්‍යො තණ්හා පවඩ්ඪති’යි ඒ රාගය මැ ‘කාමතණ්හා’ යයි දක්වති. ‘එස දළ්හං කරෝති බන්‍ධනං’ යි ඒ තණ්හා සංයෝජනය මැ දක්වති. මෙසේ ගාථාවන්හි ද වෙය්‍යාකරණයන්හි ද ප්‍රමාණ කටයුතු.
එහි බුදුහු එක් ධර්‍මය අනුසස් හෙයින් ද හේතු හෙයින් ද ඵල හෙයින් දැයි ත්‍රිවිධ කොට දක්වන සේක.
2. නොමසුරු වූ මිනිස්තෙම දන් දෙනුයේ ප්‍රිය වූයේ වෙයි. බොහෝදෙන ඔහු ඇසුරු කෙරෙති, කීර්තියට ද පැමිණෙයි, ඔහුගේ යශස් වැඩෙයි, නො මකු වැ (තෙද ඇතිවැ) පිරිස් කරා පැමිණෙයි, විශාරද වූයේ වේ.
‘දදං’ යනු යම් යම් දානයෙකි. මේ දානමය පුණ්‍යක්‍රියා යැ. එහි ‘භජන්ති නං බහූ’ යන යමක් ඇද්ද තෙල හේතු යැ. ‘කිත්තිං’ යනු යම් කල්‍යාණ කීර්තිශබ්දයෙක් ලොවැ උස්ව නැඟේ ද, බොහෝ දෙනාට ප්‍රිය මනාප වූයේ වේ ද විපිළිසර නැතිවැ කලුරිය කෙරේ ද, මේ අනුසසි, කය බිඳීමෙන් (මරණින් මතු) දෙව් ලොවැ උපදී යන මේ ඵල යි. මේ අලෝභාධිට්ඨාන යි.
(2) එහි දෝසාධිට්ඨාන කවරැ :
3.4. (මේ ගාථා දෙක 4, 5, වැනි පිටේ ව්‍යාඛ්‍යාත යැ.)
‘යෝ පාණමතිපාතේති’ යනු දුෂ්ට වූයේ ප්‍රාණවධ කෙරෙයි, ‘මුසාවාද ව භාසති’ යනු ද්වේෂයෙන් උපහත බැවින් මුසවා බෙණෙයි, ‘සුරාමේරයපානං ච යො නරෝ අනුයුඤ්ජති’ යනු දෝසනිදාන යැ, යමෙක් රහමෙර පීමෙහි යෙදේ ද හේ පරදාරවිහරණ ඇත්තකු සෙයින් සතුරන් උපදවයි.
‘පඤ්ච වේරානි අප්පහාය’ යනු පඤ්ච ශික්‍ෂාපදයන් ඉක්මැවීම යැ, සියලු දෝසජ අකුශලයන්ට ඒ ප්‍රඥප්ති යැ, එහෙයින් මැ ද්වේෂජනිත කර්‍මයෙන් දුශ්ශීලයෙකැ යි කියනු ලැබේ, ඒ ධර්‍මය ද හේතුයෙන් නිස්‍යන්‍දයෙන් හා ඵලයෙන් දැක්වියැ යුතු.
‘බාලයාගේ බාලලක්‍ෂණයෝ තිදෙනෙක් වෙති : දුර්‍භාෂිත කියන්නේත්, දුශ්චින්තිත සිතන්නේත් දුෂ්කෘතකර්‍ම කරන්නේත් වෙයි. එහි කයින් ද වචනයෙන් ද යම් උත්සාහයෙක් ඇද්ද, මේ ඔහුගේ දුෂ්කෘතකර්‍මකාරී බව යැ. එහි යම්සේ යම් මුසාවාදයෙක් බෙණේ ද එය පළමු දක්වන ලද පරිදි යැ. මේ ඔහුගේ දුර්‍භාෂිතභාෂි බව යැ. යම් මනෝදුශ්චරිත වූ ව්‍යාපාදයක් සිතා ද, මේ ඔහුගේ දුශ්චින්තිත චින්තී බවයි. හේ මේ තුන් බාලලක්‍ෂණයෙන් සමන්‍විත වූයේ එයින් උපන් තුන් දුක් දොම්නස් විඳී. හේ සභාමැදට ගියේ හෝ පිරිස් මැදට ගියේ හෝ තදනුරූප වූ කථා බෙණෙයි, ඒ හේතුයෙන් ප්‍රාණ වධාදි දශ අකුශලකර්‍මපථ ඇති හෙතෙම දුක් දොම්නස් විඳී යයි.
යළිදු හෙතෙම යම්කලෙක රාජාපරාධ කළ, රජු විසින් ගන්නා ලද සොරකු දිවියෙන් තොර කරන්නහු දකී ද, එකල ඔහුට මේ සිත වෙයි : ඉදින් රජ මා ද දන්නේ නම් රජ මා ද ගන්වා දිවියෙන් තොරකරන්නේය’යි. හේ ඒ හේතුයෙන් දුක් දොම්නස් විඳී.
නැවත ද බාල තෙමේ යම් කලෙක අසුනක හුන්නේ වේ ද, එ කල්හි මෙයින් මියැ මරණින් මතු මට යම්බඳු ගතියක් වන්නේ දැයි සිතාද, හේ ඒ හේතුයෙන් දුක් දොම්නස් විඳී. මෙසේ බාලලක්‍ෂණය හේතු යැ, එයින් උපන් තුන්වැදෑරුම් දුක නිස්‍යන්‍ද යැ, කය බිඳීමෙන් මරණින් මතු නිරයෙහි උපදී. මේ ඵල යි. මේ දෝසාධිට්ඨාන යි.