1. ප්‍රථම භූමි - අරියසච්චප්පකාසනා
පරමාර්‍ත්‍ථදර්ශී වූ ශීලාදි ගුණයන්හි පාරමීප්‍රාප්ත වූ සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා.
1. ශ්‍රාවකයාගේ සම්‍යග්දෘෂ්ටිය ඉපදීම පිණිස හෙතූහු දෙදෙනෙක් වෙති. ප්‍රත්‍යයෝ දෙදෙනෙක් වෙත් : චතුස්සත්‍ය ඝටිත වූ පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි වූ යෝනිසෝ මනසිකාරය ද යන දෙක යි.
2. එහි පරතෝඝෝසය කවරෙ යත්: මෙරමාගේ වශයෙන් යම් දේශනායෙක් අවවාදයෙක් අනුශාසනායෙක් සත්‍යකථායෙක් සත්‍යානුලෝම ධර්‍මයෙක් වේ ද එය යි. සත්‍යයෝ සතර දෙනෙකි : දුක යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ග යි. මේ සතර සත්‍යයන්ගේ යම් දෙසුමෙක් සැසැඳීමෙක් විස්තර කිරීමෙක් විභාග කිරීමෙක් ප්‍රකට කිරීමෙක් ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ සත්‍යානුලෝම වූ ඝෝෂ යයි කියනු ලැබේ යි.
3. එහි අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර යී කියනු ලැබේ.
යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරෝධ–මග්ගයන්ගේ අවිපරීත ධර්‍මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර’යි කියනු ලැබේ.
4. පෙර නො ඇසු නො ඇසුවිරූ තුන් උපමා කෙනෙක් වටහති: “කාමයන්හි අවීතරාග වූ යම් කිසිවෙක් ... එහි උපමා දෙකක් අයෝනිසෝ මනසිකාරයෙනැයි කියැ යුතු ය. පශ්චිම උපමා ව යෝනිසෝ මනසිකාරය කියන ලදු.
එහි යම් පරතෝඝෝසයෙකුත් අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරයෙකුත් වේ ද, මේ දහම්හු දෙදෙන ප්‍රත්‍යය වෙති. පරතෝඝෝසයෙන් යම් ප්‍රඥාවක් උපදී ද මේ සුතමයී පඤ්ඤා’යි කියනු ලැබේ. අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරයෙන් යම් ප්‍රඥාවක් උපදී ද මේ චින්තාමයී පඤ්ඤා’ යයි කියනු ලැබේ. මේ ප්‍රඥා දෙක දත යුතු යැ. පූර්‍ව වූ ප්‍රත්‍යය දෙක ද දතයුතු යි. මෙසේ ශ්‍රාවකයාගේ සම්මාදිට්ඨිය ඉපදීම පිණිස මේ හේතු දෙක ප්‍රත්‍යය දෙක වෙත්.
5. එහි පරතෝ ඝෝස වූ සත්‍යානුසන්‍ධි ඇති දේශිතයාගේ අර්‍ත්‍ථ නො දන්නේ අත්‍ථපටිසංවේදී (පෙළ අරුත් දන්නේ) වන්නේය යන තෙල කරුණ නො වේ. නො ද අත්‍ථපටිසංවේදී වූයේ නුවණින් මෙනෙහිකරන්නේය යන තෙල කරුණ නො වේ. පරතෝ ඝෝස වූ සත්‍යානුසන්‍ධි ඇති දේශිතයාගේ අරුත් දන්නේ අත්‍ථපටිසංවේදී වෙයි යන තෙල කරුණ ඇත. පෙළ අරුත් දන්නේ නුවණින් මෙනෙහි කරන්නේය යන තෙල කරුණ ඇත. ශ්‍රාවකයාගේ නිර්‍ය්‍යාණය සඳහා තෙල හේතු යැ තෙල අරමුණු යැ තෙල උපාය වේ. අන් උපායෙක් නැති.
6. ඒ උපාය සූත්‍රයාගේ අරුත් දැනීම සමග නො ද යෙදුණේ යැ ඝෝසානුයෝගය සමග ද නො යෙදුණේ යැ. පරතෝ ඝෝසයාගේ අරුත් නො දන්නහු විසින් මිනිස් දහමින් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනය ලබන්නට නො ද හැකි වෙයි. එහෙයින් කෙලෙසුන් නිවනු රිසි වූ ශ්‍රැතමයඥාන ඇතියහු විසින් අර්‍ත්‍ථ පර්‍ය්‍යෙෂණ කළ යුතු ය. එහි පර්‍ය්‍යෙෂණයට මේ අනුපිළිවෙළ වෙයි. සොළොස් භාරයෝ යැ, පඤ්ච නය යැ අටළොස් මූලපදයෝ යි.
එහි මේ අනුගීති යැ:
(1) නෙත්ති සංඛ්‍යාත අවිපරීත සූත්‍රාර්‍ත්‍ථාවබෝධයට කාරණ වූ දේසනාදි සොළොස් භාරයෝ යැ, පර්‍ය්‍යාප්ති ශාසනයාගේ අර්‍ත්‍ථ පර්‍ය්‍යෙෂණ කරන නන්‍දියාවට්ටාදි පස් නය යැ, කුශලාකුශල විසින් භේද වූ අටළොස් මූලපදයෝ යැ යන මොහු කාත්‍යායන ගෝත්‍ර ඇති මහතෙරුන් විසින් දක්වන ලද්දාහු යැ.
7. එහි සොළොස් භාරයෝ කවරහ :
ආස්වාදාදිය විභාග කිරීම ලක්‍ෂණ කොට ඇති ‘දේශනා’ හාර යැ, සූත්‍රයෙහි එන පද ප්‍රශ්නාදිය විමසීම ලක්‍ෂණ වූ ‘විචය’ හාර යැ, සූත්‍රාගත අර්‍ත්‍ථ ව්‍යඤ්ජනයන්ගේ යුක්තිඅයුක්ති විචාරණ ලක්‍ෂණ වූ ‘යුක්ති’ හාර යැ, සූත්‍රාගත කුශලාකුශලාදි ධර්‍මයන්ගේ පදට්ඨාන (–ආසන්න කාරණ) නිශ්චය කිරීම ලක්‍ෂණ වූ ‘පදට්ඨාන’ හාර යැ, සමාන ලක්‍ෂණ ධර්‍මයන් නහා දක්වන ‘ලක්ඛණ’ හාර යැ. ව්‍යඤ්ජනද්වාරයෙන් නිර්වචනාදිය දැක්වීම ලක්‍ෂණ වූ ‘චතුබ්‍යුහ’ හාර යැ, සභාගවිෂභාග ධර්‍මයන් ආවර්‍තන ලක්‍ෂණ වූ ‘ආවත්ත’ හාර යැ, සංකිලේස වෝදාන ධර්‍මයන් විභාගකිරීම ලක්‍ෂණ වූ ‘විභක්ති’ හාර යැ, කුශලාකුශල ධර්‍මයන්ට ප්‍රතිපක්‍ෂ වශයෙන් පරිවර්‍තන ලක්‍ෂණ වූ ‘පරිවත්තන’ හාර යැ, පර්‍ය්‍යායශබ්ද දැක්වීම ලක්‍ෂණ කොට ඇති ‘වෙවචන’ හාර යැ, එක් ධර්‍මාර්‍ත්‍ථයක් විවිධ ප්‍රඥප්තීන් විභාවනය ලක්‍ෂණ වූ ‘පඤ්ඤත්ති’ හාර යැ. ප්‍රතීත්‍ය සමුත්පාදාදිද්වාරයෙන් සූත්‍රාර්‍ත්‍ථයාගේ අවතරණ ලක්‍ෂණ වූ ‘ඕතරණ’ හාර යැ, සූත්‍රාගත පදපදාර්‍ත්‍ථාදීන්ගේ ශෝධනය ලක්‍ෂණ වූ ‘සෝධන’ හාර යැ. සූත්‍රාගතධර්‍මයන්ගේ සාමාන්‍ය විශේෂඥ නිර්ධාරණ ලක්‍ෂණ වූ ‘අධිට්ඨාන’ හාර යැ, ධර්‍මයන්ගේ හේතුප්‍රත්‍යය නිර්ධාරණ ලක්සණ ‘පරික්ඛාර’ හාර යැ. පදට්ඨානාදි මුඛයෙන් ධර්‍මයන්ගේ සමාරෝපණ ලක්‍ෂණ වූ ‘සමාරෝපණ’ හාර යැ යන මොහු සෝළය හාරයෝ යි:
ඒ හාරෝද්දේසයෙහි සුඛග්‍රහණ පිණිස අනුගිති වෙයි :
2. දේසනා යැ විචය යැ යුක්ති යැ පදට්ඨාන යැ ලක්ඛණ යැ චතුබ්‍යුහ යැ ආවට්ට යැ විභක්ති යැ පරිවත්තන යැ–
3. වෙවචන යැ පඤ්ඤත්ති යැ ඕතරණ යැ සෝධන යැ අධිට්ඨාන යැ පරික්ඛාර යැ සමාරෝපණ යැ යි සොළසහාර වෙත්.