20. හේතුයෙන් උපන් යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, තථාගතයෝ ඒ ධර්‍මයන්ගේ ප්‍රභවහේතුව වදාළහ. යළි ඔවුන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද, එ ද වදාළහ, මහාශ්‍රමණ වූ තථාගතයෝ මෙබඳු වාද ඇත්තාහ’යි.
හේතුයෙන් ප්‍රභව වූ ධර්‍මයෝ ‘දුක්ඛ’ යැ. හේතුව සමුදය යැ, භාග්‍යවත්හුගේ යම් (දේශනා) වචනයෙක් ඇද්ද මේ මාර්‍ග යැ, ඒ ධර්‍මයන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද මේ නිරෝධ යි.
යම් කිසි කෙනෙක් සංයෝජනයන්ට හිත වූ ධර්‍මයන්හි ආස්වාද විසින් දක්නාසුලු වැ වාස කෙරෙත් ද, ඔවුනට කෙලෙස් වූ තෘෂ්ණාව වැඩෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි ... මෙසෙයින් තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ. එහි යම් සංයෝජනයෙක් ඇද්ද, මේ ‘සමුදය’ යැ. යම් සංයෝජනියධර්‍ම කෙනෙක් ඇද්ද, යම් සෝක – පරිදේව – දුක්ඛ – දෝමනස්ස – උපායාස කෙනෙකුත් උපදිත් ද, මේ ‘දුක්ඛ’ යැ. සංසොජනිය ධර්‍මයන්හි යම් ආදීනව විසින් පුනපුනා බැලීමෙක් වේ ද, මේ මාර්‍ග යැ. ජාතියෙන් ජරායෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් – උපායාසය දක්වා – මිදෙයි. මේ නිබ්බාන’යි.
මේ සතර සත්‍යයෝ යි.
එහි අනුපාදිසේසනිබ්බානධාතු කවර යත්:
21. (බුදුහු මෙසේ වදාළහ : උපසීව මාණවකය) අස්තයට ගියහුට (අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියහුට) රූපාදිප්‍රමාණකරධර්‍මයෙක් නැත. රාගාදි යම් ධර්‍මයකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත (ස්කන්‍ධාදි) සියලු ධර්‍මයන් නැසූ කල්හි (ඔහු විසින්) හැම වාදපථයෝ ද නසන ලදහ’යි.
සංයුත්සඟියැ ගෝධික සූත්‍රය (දැක්වියැ යුතු.)
මේ අනුපාදිසේසනිබ්බානධාතු යි.
මේ අසාධාරණ සූත්‍රයෝ යැ, යම් යම් තැනෙක සිවුසස් දක්වන ලද්දාහු ද ඒ ඒ තැන්හි සත්‍ය ලක්‍ෂණයෙන් අවතරණ කොට අපරිමාණ ඛ්‍යඤ්ජනයෙන් ඒ අර්‍ත්‍ථය සෙවියැ යුතු. එහි අර්‍ත්‍ථය අනුව වැටෙන ඛ්‍යඤ්ජනයෙන් යළි ඛ්‍යඤ්ජන අනුව වැටෙන අර්‍ත්‍ථයෙන් යුත් ඒ එකෙකි අර්‍ත්‍ථයාගේ අපරිමාණ ඛ්‍යඤ්ජනයෝ වෙති. නික්‍ෂේප කළ පරිදි මේ සූත්‍රයන්ගෙන් චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දැක්විය යුත්තාහ. පස්මහසඟියෙහි පිවිසැගෙන සිටි ගාථායෙන් ගාථා පමණ කළ යුතු යැ, ඛ්‍යාකරණයෙන් ඛ්‍යාකරණය පමණ කළ යුතු. මොහු අසාධාරණ සූත්‍රයෝ යි.
එහි මේ උද්දාන ගාථා යැ:
(1-10) (යමෙකරත්තිං පඨමං, යනාදි ජාතක (අයොඝර) ගාථායෙහි පටන් සංයුත් සඟියැ ගෝධික සූත්‍රය දක්වා ජාති ආදි ධර්‍මයනට නිදර්ශිත අසාධාරණ සූත්‍රයන්ගේ අනුපිළිවෙළ උද්දානගාථාවන්ගෙන් දක්වන ලද්දේය, එය පාළි වශයෙන් මැ දතහැකි වේ.)
ඒ අසාධාරණ සූත්‍රයන්ගේ උද්දානගාථා දසයෙකි.
එහි මේ සාධාරණ සූත්‍රයෝ යැ, යම් සූත්‍රයෙක්හි අනුලෝම ව ද, ප්‍රතිලෝම ව ද ව්‍යති මිශ්‍ර කොට ද සාධාරණ සත්‍යයෝ දෙසන ලද්දාහු ද එහි මේ ආදිය යැ:
22. (අජිත යි බුදුහු මෙසේ වදාරති) ධර්‍ම ස්වභාව ප්‍රතිච්ඡාදන ලක්‍ෂණ වූ සත්ත්‍ව ලෝකය වසන ලද විචිකිත්සා ප්‍රමාද හේතුයෙන් ප්‍රකාශයට නො පැමිණෙයි, තෘෂ්ණාව අභිලේපන (ඇලීම) යයි කියමි. ඒ ලෝවැසිහට ජාත්‍යාදි වට්ටදුක්ඛය මහත් භය හේතුව වේ.
එහි යම් අවිද්‍යාවකුත් විචිකිත්සාවකුත් වේ ද, මේ ‘සමුදය’ යැ, යම් මහත් භයෙක් වේ ද මේ ‘දුක්ඛ’ යැ, දුක්ඛ ද සමුදය දැ යි මේ සත්‍ය දෙක යි.
“සංයෝජන ද සංයෝජනිය ධර්‍මයෝ ද” යන සංයුත් සඟියැ චිත්ත සංයුත්තයෙහි වෙය්‍යාකරණය වෙයි.
එහි යම් සංයෝජනයෙක් ඇද්ද මේ ‘සමුදය’ යැ, සංයෝජනයන්ට හිත වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ‘දුක්ඛ’ යැ. දුක්ඛ ද සමුදය දැ යි මේ සත්‍ය දෙකෙකි.