56. සියලු අකුසල් නොකිරීමද චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද (රහත්මගින්) ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනායි.
එහි “...” සබ්බපාපස්ස අකරණං “...” යි යමක් වදාළසේක් ද මේ ‘පටික්ඛිත්ත යැ. කුසලස්ස උපසම්පදා යි යමක් වදාළසේක් ද මේ අනුඤ්ඤාත යැ.
මේ අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වෙයි.
“දේවේන්‍ද්‍රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි, දේවේන්‍ද්‍රය, මම වාක්සමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි, දේවේන්‍ද්‍රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි.
“දේවේන්‍ද්‍රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමියි මෙසේ තෙල කියනලද, තෙල කුමක් සඳහා කියනලද ද යත් : යම්බඳු කාය සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද මෙබඳු කායසමාචාරය නො සෙවියැයුත්තේ යැ, එහි යම් කායසමාචාරයක් ‘මේ කායසමාචාරය සෙවුනා මට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති’ යි දන්නේ ද, මෙබඳු වූ කායසමාචාරය සෙවියැ යුත්තේ යැ. ‘දේවේන්‍ද්‍රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ යමක් කියනලද ද මෙය තෙල කරුණ සඳහා කියනලද්දේය. වාක්සමාචාරය ...
දේවේන්‍ද්‍රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ තෙල කියනලද, තෙල කුමක් සඳහා කියනලද යැ යත් : ‘යම්බඳු පර්‍ය්‍යෙෂණයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු පර්‍ය්‍යෙෂණය නො සෙවියැයුතු යැ. එහි යම් පර්‍ය්‍යෙෂණයක් සෙවුනාහට ‘මේ පර්‍ය්‍යෙෂණය සෙවුනා මට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති’ යි, දන්නේ ද, මෙබඳු පර්‍ය්‍යෙෂණය සෙවියැයුතු යැ. දේවේන්‍ද්‍රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ යමක් කියනලද ද මෙය තෙල කරුණ සඳහා කියන ලදි.
ඒ දේශනායෙහි “සේවිතබ්බම්පි” යි යමක් වදාළ සේක් ද මේ “අනුඤ්ඤාත” යැ. ‘න සෙවිතබ්බං’ යි යමක් වදාළසේක් ද මේ ‘පටික්ඛිත්ත’ යැ.
මේ අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වේ.
(28) ඒ ශාසනපට්ඨානයෙහි ථව සූත්‍ර කවරෙ යැ :
57. ජඞ්ගමාදි මාර්‍ගයන් අතුරෙන් අෂ්ටාඞ්ගික ආර්‍ය්‍යමාර්‍ගය උතුම් වෙයි, සත්‍යයන් අතුරෙන් දුක්ඛාදි (ආර්‍ය්‍යසත්‍යප්‍රකාශක) සතර පදය උතුම් වෙයි, ධර්‍මයන් අතුරෙන් නිර්‍වාණසංඛ්‍යාත විරාගය උතුම් වෙයි, දේවමනුෂ්‍යාදි දෙපාඇත්තවුන් අතුරෙන් පසැස්ඇති තථාගතයෝ උතුම් වෙත්.
මේ ථව (ස්තව) දේශනා යැ.
“මහණෙනි, මේ අග්‍ර (උත්තම) යෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : මහණෙනි, අපාද වූ ද්වීපාද හෝ චතුෂ්පාද හෝ බහුප්පාද හෝ රූපී හෝ අරූපී හෝ සංඥී හෝ අසංඥී හෝ නෛවසංඥීනාසංඥී වූ හෝ යම් පමණ සත්ත්‍ව කෙනෙක් ඇද්ද, ඒ සත්ත්‍වයන් අතුරෙන් යම් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වෙද්ද ඒ තථාගතයෝ ගුණයෙන් අග්‍ර වූහ’ යි කියනුලැබෙති, ශ්‍රේෂ්ඨ වූහ’ යි ප්‍රවර වූහ’ යි කියනුලැබෙත්.
මහණෙනි, සංඛත (ප්‍රත්‍යයෙන් කරනලද) වූ හෝ අසංඛත වූ හෝ ධර්‍මයන්ගේ යම් පමණ ප්‍රඥප්තියක් ඇද්ද, ඒ ධර්‍මයන් අතුරෙන් යම් රාගමදාදිය නිර්මද කරන ... නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, ඒ විරාග (නිර්‍වාණ) ධර්‍මය අග්‍ර යයි කියනු ලැබෙයි, ශ්‍රේෂ්ඨ යයි ප්‍රවර යයි කියනුලැබේ.