3. 3.
නයසමුට්ඨානය
3. 3. 1-5.
එහි නයසමුට්ඨාන කවරෙ යැ : අවිද්‍යාවගේ ද භවතෘෂ්ණාවගේ ද පූර්‍වකෝටිය (මර්‍ය්‍යදාව) නො පැනෙයි. එහි අවිද්‍යාව නීවරණ යැ, තෘෂ්ණාව සංයෝජන යි. අවිද්‍යා නීවරණ ඇති සත්ත්‍වයෝ අවිද්‍යායෙන් මිශ්‍රිත වූවාහු (නොහොත් අවිද්‍යායෙන් අභිනිවේශවස්තූන්හි බැඳුනාහු) අවිද්‍යාපක්‍ෂයෙන් (අවිද්‍යාසහායයෙන්) අරමුණෙහි පවතිත්. ඔහු ‘දිට්ඨිචරිතයෝ’ යයි කියනු ලැබෙත්. තෘෂ්ණාසංයෝජන ඇති සත්ත්‍වයෝ තෘෂ්ණායෙන් සංයුක්ත වූවාහු තෘෂ්ණාපක්‍ෂයෙන් (අට්ඨසත තණ්හාවිචරිතයෙන්) අරමුණෙහි පවතිත්. ඔහු ‘තණ්හාචරිතයෝ’ යයි කියනු ලැබෙත්. දිට්ඨිචරිත ඇති මේ ශාසනයෙන් බාහිර වූ පැවිද්දෝ ආත්මක්ලමථානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙති. තණ්හාචරිත ඇති මේ ශාසනයෙන් බාහිර වූ පැවිද්දෝ කාමයන්හි කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත්.
යම් හෙයෙකින් දිට්ඨිචරිත ඇති මෙසස්නෙන් බැහැර පැවිද්දෝ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත් ද, තණ්හාචරිත ඇති මෙ සස්නෙන් බැහැර පැවිද්දෝ කාමයන්හි කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත් ද, එහි කරුණු කීම යත් : මේ ශාසනයෙන් බැහැර චතුස්සත්‍යය ව්‍යවස්ථා කොට දැනීමෙක් නැත, චතුස්සත්‍යය දේශනායෙක් කොහි යැ, ශමථවිදර්‍ශනා භාවනා කෞශල්‍යයෙක් වේවයි ක්ලේශයන්ගේ සුඛාධිගමයෙක් වේව’ යි කොහි යැ. උපසමසුඛය නො දැන මිත්‍යාභිනිවේශයෙන් විපරීත සිත් ඇත්තාහු මෙසේ කීහු : ‘සුවයෙන් සුව ලැබීමෙක් නැත, කායඛේදන දුඃඛයෙන් ම සුව ලැබියැයුතු යැ යි ද, යමෙක් කාමයන් සේවන කෙරේ ද හේ ආත්මභාව සංඛ්‍යාත ලෝකය වඩයි, (පිනවයි,) නොහොත් පුත්‍රනප්තෘපරම්පරායෙන් සත්ත්‍වලෝකය වඩයි, යමෙක් ලෝකය වඩා ද හේ බොහෝ පින් රැස්කෙරේ යැ’ යි ද කීහු, මෙබඳු සංඥා ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඔහු දුකින් සුව පතන්නාහු කාමයන්හි පුණ්‍යසංඥා ඇත්තාහු ආත්මක්ලමථුයෙහි යෙදුණාහු ද කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදුණාහු ද වාස කෙරෙත්.
ඔව්හු එබඳු සංඥා ඇත්තාහු ආත්මභාවරෝගය මැ හෝ ක්ලේශරෝගය මැ මතුමතුයෙහි වඩති, ආත්මභාව (ක්ලේශ) ගණ්ඩය මැ වඩති, ක්ලේශශල්‍යය මැ වඩත්. ඔව්හු ආත්මභාවරෝගයෙන් ව්‍යාධිත වූවාහු ගණ්ඩයෙන් පීඩිත වූවාහු ශල්‍යයෙන් විදුනාලද්දාහු නිරය තිරශ්චීනයෝනි ප්‍රේත අසුරකායයෙහි ච්‍යුති උත්පත්ති විසින් උම්මුජ්ජන නිමුජ්ජන කරන්නාහු උච්චාවචභාවය විඳුනාහු යථෝක්ත රෝගගණ්ඩශල්‍යයනට පිළියම් (භෛෂජ්‍ය) නොලබත්. එහි අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද සංක්ලේශ යැ, ශමථවිදර්‍ශනා ව්‍යවදාන යැ, අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද රෝග යැ, සමථවිපස්සනා රෝග නසන භෛෂජ්‍ය යැ. අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද ගණ්ඩ යැ, සමථවිපස්සනා ගඬු නසන භෛෂජ්‍ය යැ. අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද ශල්‍ය යැ, ශමථ විදර්‍ශනා දෙක (ස්කන්‍ධදුඃඛ සංඛ්‍යාත) හුල් උදුරන බෙහෙති.
එහි සංක්ලේශ වූ රූපාරූප කය දුඃඛසත්‍ය යැ, එහි අභිසඞ්ග වූ (ඇලෙන) තෘෂ්ණාව සමුදයසත්‍ය යැ, තෘෂ්ණානිරෝධය දුඃඛනිරෝධසත්‍ය යැ, ශමථවිදර්‍ශනා දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාසත්‍ය යැ. මේ චතුස්සත්‍යයෝ යි. දුඃඛය පරිඥේය (පිරිසිඳ දතයුතුයැ), සමුදය ප්‍රහාතව්‍ය යැ, මාර්‍ගය භාවිතව්‍ය යැ, නිරෝධය සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.
එහි (දෙවැදෑරුම් චරිතයන් කෙරෙහි) දෘෂ්ටිචරිතයෝ රූපය ආත්මවශයෙන් ගනිති වේදනාව … සංඥාව … සංස්කාරයන් … විඥානය ආත්ම විසින් ගනිත්. තෘෂ්ණා චරිතයෝ ආත්මය රූපවත් යැයි හෝ ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ ගනිති, ආත්මය වේදනාවත් යැ … ආත්මය සංඥාවත් යැ … ආත්මය සංස්කාරවත් යැ … ආත්මය විඥානවත් යැ හෝ ආත්මයෙහි විඥානය ඇතැයි හෝ විඥානයෙහි, ආත්මය ඇතැයි හෝ ගනිත්. මේ විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යයි කියනු ලැබේ. (පඤ්චස්කන්‍ධයන් කෙරෙහි එකෙකි ස්කන්‍ධයෙක සතර පරිද්දෙකින් උපදනා ග්‍රාහයාගේ වශයෙන් විසිවැදෑරුම් වූ දෘෂ්ටිය පඤ්චස්කන්‍ධය ඇති කල්හි හෝ කයෙහි විද්‍යමාන වූ දෘෂ්ටි නුයි සක්කායදිට්ඨි නමු.)
ඒ සත්කායදෘෂ්ටියට ලෝකෝත්තර සම්‍යග්දෘෂ්ටිය ප්‍රතිපක්‍ෂ යැ. සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යන මොහු (ඒ පඨමමග්ගසම්මාදිට්ඨියට) අනුගාමීහු වෙති. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ. ඔහු ‘සීලක්ඛන්‍ධ සමාධික්ඛන්‍ධ පඤ්ඤාක්ඛන්‍ධ’ යන තුන් ස්කන්‍ධයෝ යැ. ශීලස්කන්‍ධය ද සමාධිස්කන්‍ධය ද ශමථ යැ, ප්‍රඥාස්කන්‍ධය විදර්‍ශනා යි, එහි සත්කාය දුඃඛසත්‍ය යැ. සත්කායසමුදය දුඃඛසමුදය යැ. සත්කාය නිරෝධය දුක්ඛනිරෝධය යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය දුක්ඛනිරෝධගාමිනී පටිපදා යි. මොහු චතුස්සත්‍යයෝ යි. දුඃඛසත්‍යය පරිඥේය (පිරිසිඳ දතයුත්තේ) යැ. සමුදය සත්‍යය ප්‍රහාතව්‍ය යැ, මාර්‍ගසත්‍යය භාවිතව්‍ය (වැඩියැයුත්තේ) යැ, නිරෝධසත්‍යය සාක්‍ෂාත් කර්‍තව්‍ය යි.
ඒ විංශද්වස්තුක සත්කායදෘෂ්ටියෙහි යම් කෙනෙක් රූපය ආත්මවශයෙන් ගනිත් ද, වේදනාව … සංඥාව … සංස්කාරයන් … විඥානය ආත්මවශයෙන් ගනිත් ද, මොහු උච්ඡේදවාදීහු යයි කියනු ලැබෙත්. යම් කෙනෙක් ආත්මය රූපවත් යයි ගනිත් ද, ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ ගනිත් ද, යම් කෙනෙක් ආත්මය වේදනාවත් යයි … යම් කෙනෙක් ආත්මය සංඥාවත් යයි ... යම් කෙනෙක් ආත්මය සංස්කාරවත් යයි … යම් කෙනෙක් ආත්මය විඥානවත් යයි ආත්මයෙහි විඥානය ඇතැයි හෝ විඥානයෙහි ආත්මය ඇතැයි හෝ ගනිත් ද, මොහු ශාශ්වතවාදීහු යයි කියනු ලැබෙත්.
එහි උච්ඡේද ශාශ්වතවාදයෝ උභයාන්තයෝ යැ, මේ සංසාරප්‍රවෘත්තිය යි. ඊට ප්‍රතිපක්‍ෂ වූයේ මධ්‍යමප්‍රතිපදා සංඛ්‍යාත ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, මේ සංසාරයාගේ නිවෘත්තිය යි. එහි සංසාරප්‍රවෘත්තිය දුඃඛසත්‍ය යැ, එහි අභිසඞ්ග (ඇලීම) වූ තෘෂ්ණාව සමුදයසත්‍යය යැ, තෘෂ්ණානිරෝධය දුඃඛනිරෝධ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා යි. මේ චතුස්සත්‍යයෝ යැ. දුඃඛය පරිඥේය යැ, සමුදය ප්‍රහාතව්‍ය යැ, මාර්‍ගය භාවිතව්‍ය යැ, නිරෝධය සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.
එහි උච්ඡේද ශාශ්වත දෙක සැකෙවින් විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, විස්තරහෙයින් දෙසැට දෘෂ්ටිගතයෝ යි. ඔවුනට ප්‍රතිපක්‍ෂ වූයේ තෙසාලිස් බෝධිපාක්‍ෂිකධර්‍මයෝ යැ, අෂ්ටවිමෝක්‍ෂයෝ යැ, දසකසිණායතනයෝ යි. ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ (පූර්‍වකෝටිය නො පැනෙනුයෙන්) අනාදි වූ (ප්‍රතිපක්‍ෂාධිගමයක් නැති කල්හි සන්තාන වශයෙන් නො සිඳී පවත්නා හෙයින්) අනිධනප්‍රවෘත්ත වූ මෝහජාලය යි. තෙසාලිස් බෝධිපාක්‍ෂිකධර්‍මයෝ මෝහජාලය ප්‍රදාලන කරන විදර්‍ශනාඥාන මාර්‍ගඥාන සංඛ්‍යාත ඥානවජ්‍රය (වජිරූපමඤාණ) යි. එහි මෝහය අවිජ්ජා යැ, ජාලය භවතණ්හා යි. එයින් කියනුලැබෙයි : “පුබ්බා කෝටි න පඤ්ඤායති අවිජ්ජාය ච භවතණ්හාය ච” යි.