3. 2. 4.
පදට්ඨානහාරසම්පාතය
එහි පදට්ඨානහාරසම්පාතය කවරෙ යත් : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා නිදර්‍ශන යැ, තස්මා රක්ඛිතචිත්තස්ස යනු මේ ත්‍රිවිධ සුචරිතයනට පදට්ඨාන (ආසන්නකාරණ) වචන යැ. සම්මාසඞ්කප්පගෝචරො යනු (සම්‍යක්සංකල්ප බහුලයහට නීවරණප්‍රහාණය සුකර නුයි) සමථයට ආසන්නකාරණ යැ, සම්මාදිට්ඨි පුරෙක්ඛාරො යනු ( දෙවැදෑරුම් සම්මාදිට්ඨියෙහි සිටියේ සසරදුක ඉක්මැවීමට උපාය වූ විදර්‍ශනා වඩා නුයි) විදර්‍ශනාවට පදට්ඨාන යැ, ඤත්‍වාන උදයබ්බයං යනු දර්‍ශනභූමියට පදට්ඨාන යැ, ථීනමිද්ධාභිභූ භික්ඛු යනු වීර්‍ය්‍යයට පදට්ඨාන යැ, සබ්බා දුග්ගතියො ජහෙ යනු භාවනාවට පදට්ඨාන යි. (විශේෂකාරණ වන්නේ යි.)
පදට්ඨානහාරසම්පාතය යොදනලද්දේ යි.
3. 2. 5.
ලක්ඛණහාරසම්පාතය
එහි ලක්ඛණහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ. තස්මාරක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො යන මේ (ඉන්‍ද්‍රියයන්හි ගුත්තද්වාරතායෙන් නෙක්ඛම්මවිතර්‍කාදිය බහුල වේ නුයි) සතින්‍ද්‍රිය යි. සතින්‍ද්‍රිය ගත්කල්හි (ඉන්‍ද්‍රියලක්‍ෂණයෙන් විමුත්තිපරිපාචනභාවයෙන් හෝ සමාන ලක්‍ෂණ හෙයින්) පඤ්චේන්‍ද්‍රියයෝ ගන්නාලද්දාහු වෙත්. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්මාදිට්ඨිය ගත්කල්හි ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ගන්නාලද වෙයි. එ කවර හෙයින : සම්මාදිට්ඨියෙන් සම්මාසඞ්කප්පය උපදී (සම්භව වෙයි.) සම්මාසඞ්කප්පයෙන් සම්මාවාචා උපදී, සම්මාවාචායෙන් සම්මාකම්මන්ත උපදී, සම්මාකම්මන්තයෙන් සම්මාආජීව උපදී, සම්මාආජීවයෙන් සම්මාවායාම උපදී, සම්මාවායාමයෙන් සම්මාසති උපදී, සම්මාසතියෙන් සම්මාසමාධි උපදී, සම්මාසමාධියෙන් සම්මාවිමුත්ති උපදී, සම්මාවිමුත්තියෙන් සම්මාවිමුත්තිඤාණදස්සන උපදී එහෙයිනි.
ලක්ඛණහාරසම්පාතය යොදන ලදී.
3. 2. 6.
චතුබ්‍යූහහාරසම්පාතය
එහි චතුබ්‍යූහහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ. තස්මා රක්ඛිතචිත්තස්ස යනු (රක්ඛීයතීති) රක්ඛිතං, (මේ පදවශයෙන් නිර්වචන යැ,) පරිපාලීයති යනාදිය (අර්‍ත්‍ථයවශයෙන් නිර්වචන යි.) මේ නිරුත්ති යැ. මේ දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරේ යැ : ‘යම් කෙනෙක් දුගතියෙන් මිදෙනු කැමැති වන්නාහු ද, ඔහු ධම්මචාරී වන්නාහ’
යන මෙය රක්ඛිතචිත්තෝ අස්ස යනාදීන් ඉන්‍ද්‍රියසංවරාදිය ද දුර්‍ගතිප්‍රහාණය ද වදාරන භාග්‍යවතුන් වහන්සේගේ මේ ගාථාදේශනායෙහි අදහස යැ, යම්හෙයකින් කෝකාලික මහණ සැරියුත් මුගලන් තෙරවරුන් කෙරෙහි සිත ප්‍රදූෂ්‍ය කොට මහාපදුමනිරයෙහි උපන්නේ ද එහෙයිනි. භාග්‍යවතුන් වහන්සේ ද සිහියෙන් රක්නාලද සිතින් සමන්‍වාගත වූසේක. සූත්‍රයෙහි “සතියා චිත්තං රක්ඛිතබ්බං” යි වදාරනලදි. (මේ දේශනානුසන්‍ධි දැක්වීම යි.)
චතුබ්‍යූහහාරසම්පාතය යොදනලදී.
3. 2. 7.
ආවට්ටහාරසම්පාතය
එහි ආවට්ටහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථාව නිදර්‍ශන යි. තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො යනු (නෙක්ඛම්මසඞ්කප්ප බහුල කොට ඇතියේ කසිණාදි වශයෙන් ලැබූ චිත්තෛකාග්‍රතායෙන් කෙලෙසුන්ගෙන් සිත රක්නාලද වේ නුයි) මේ සමථ යැ, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු විදර්‍ශනා යැ (විදර්‍ශනාව ප්‍රඥා ප්‍රධාන හෙයිනි.) ඤත්‍වාන උදයබ්බයං යනු දුඃඛසත්‍යයාගේ පරිඥා යැ, ථීනමිද්ධාභිභූ භික්ඛු යනු සමුදය ප්‍රහාණ යැ, සබ්බා දුග්ගතියො ජහෙ යන මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි.
ආවට්ටහාරසම්පාතය යොදනලදී.
3. 2. 8.
විභත්තිහාරසම්පාතය
එහි විභත්තිහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. කුශලපක්‍ෂය චක්ඛුසංවරාදි කුශලපක්‍ෂයෙන් දැක්වියැ යුත්තේ යැ, අකුශලපක්‍ෂය චක්ඛුඅසංවරාදි අකුශලපක්‍ෂයෙන් දැක්වියැයුත්තේ යි.
විභත්තිහාරසම්පාතය යොදනලදී.
3. 2. 9.
පරිවත්තනහාරසම්පාතය
එහි පරිවත්තනහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. ලෞකික ශමථවිදර්‍ශනා වැඩූ කල්හි (‘අරක්ඛිතෙන චිත්තේන’ යනාදි ගාථාවට නොහොත් විභත්තිහාරයෙහි දැක්වූ අකුශලපක්‍ෂයට) ප්‍රතිපක්‍ෂවශයෙන් නිරෝධය ඵල යැ දුක්ඛය පරිඥාත යැ සමුදය ප්‍රහීණ යැ මාර්‍ගය භාවිත යි.
පරිවත්තනහාරසම්පාතය යොදනලදී.
3. 2. 10.
වෙවචනහාරසම්පාතය
එහි වෙවචනහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. තස්මා රක්ඛිතචිත්තස්ස යනු ‘චිත්ත, මනෝ, විඤ්ඤාණ මනින්‍ද්‍රිය, මනායතන, විජානනා, විජානිතත්ත’ මේ චිත්තවෙවචන යැ, සම්මාසඞ්කප්ප ගෝචරො යනු ‘නෙක්ඛම්මසඞ්කප්ප, අව්‍යාපාදසඞ්කප්ප, අවිහිංසාසඞ්කප්ප’ මේ සම්මාසඞ්කප්පවෙවචන යැ. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්මාදිට්ඨි නම් : ‘පඤ්ඤාසත්‍ථ, පඤ්ඤාඛග්ග, පඤ්ඤාරතන, පඤ්ඤාපජ්ජෝත, පඤ්ඤාපතෝද, පඤ්ඤාපසාද’ මේ සම්මාදිට්ඨියට වෙවචන යි.
වෙවචනහාරසම්පාතය යොදනලදී.