3. 2. 2.
විචයහාරසම්පාතය
එහි විචයහාරසම්පාතය කවරෙ යැ : ඒ දේසනාහාරයෙහි විපල්ලාසහේතුභාවයෙන් නිර්ධාරණ කළ තෘෂ්ණාව කුශල ද අකුශල දැයි ද්විවිධ වන්නී ය. අකුශල තෘෂ්ණාව සසරට පමුනුවන්නී ය, (සංසාරනායිකා යයි සේයි.) කුශලතෘෂ්ණාව අපචය සංඛ්යාත නිවනට පමුණුවන ප්රහාණතෘෂ්ණා යි. මානය ද දෙවැදෑරුම් වෙයි : කුශල ද අකුශල දැයි කියා යි. (සේවිතව්ය වූ) යම් මානයක් නිසා මානය ප්රහාණ කෙරේ ද, මේ මානය කුශල යැ, යළි යම් මානයෙක් දුක උපදවා ද, මේ මානය අකුශල යි. එහි යම් නෛෂ්ක්රම්ය නිශ්රිත වූ දොම්නසෙක් ඇද්ද, “ආර්ය්යයෝ ශාන්ත වූ අර්හත්ඵල සංඛ්යාත යම් ආයතනයක් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාස කෙරෙත් ද,
කවදා නම් මම ඒ ආයතනය ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසකෙරෙම් දැ” යි. ඔහුට පිහා සංඛ්යාත ඊප්සාව උපදී, පිහාප්රත්යයෙන් දොම්නස වෙයි, මේ තණ්හාව කුශල වෙයි. (කිසෙයින් කුසල් වෙයි යත්,) යම් රාගවිරාග චේතෝවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව අනවද්යාර්ත්ථයෙන් කුසල් වෙයි, යම් අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව කුශලාරම්මණ හෙයින් අනවද්යාර්ත්ථයෙන් කුසල් වේ.
ඒ පඤ්ඤාවිමුක්තියගේ පවිචය කවරෙ යැ : සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යන අෂ්ට මාර්ගාඞ්ගයෝ යි. ඒ පවිචය කොතැන්හි ලා දැක්කයුතු යැ යත් : චතුර්ත්ථධ්යානයෙහි උත්කර්ෂයට පැමිණිභාවනායෙහි ලා දැක්කයුතු. ඒ එසේ මැ යැ, චතුර්ත්ථධ්යානයෙහි අෂ්ටාඞ්ගයෙකින් සමන්වාගත චිත්තය වඩයි. (ඒ අෂ්ටාඞ්ගය නම් :) උපෙක්ඛාසති පාරිසුද්ධියෙන් පරිශුද්ධ වූ පරිශුද්ධ හෙයින් ම පරියොදාත - ප්රභාස්වර වූ විගත රාගාදි අඞ්ගණ ඇතියෙන් අනඞ්ගණ වූ අනඞ්ගණ හෙයින් ම අපගත උපක්ලේශ ඇති සුභාවිත හෙයින් මෘදු වූ (වශීභාවප්රාප්ත) මෘදු හෙයින් ම කර්මක්ෂම වූ පරිශුද්ධභාවාදියෙහි සිටි හෙයින් ස්ථිත වූ ස්ථිත හෙයින් ම අනිඤ්ජන - අචල බවට පැමිණි සිත වඩයි. ඒ චතුර්ත්ථධ්යානලාභී යෝගී තෙම ඒ චතුර්ත්ථධ්යානයෙහි අටවැදෑරුම් ගුණයට පැමිණෙයි : (ඒ කවරෙ යැ,) ඉද්ධිවිධාදි ෂඩ්අභිඥා යැ මනෝමයඉද්ධි විපස්සනාඤාණ යන ගුණවිශේෂ දෙකට ද පැමිණෙයි. ඒ චතුර්ත්ථධ්යානචිත්තය (උපෙක්ඛාසතිපාරිසුද්ධි සංඛ්යාත) යම් හේතුවකින් පරිශුද්ධ ද එහෙයින් පරියොදාත යැ යම්හෙයෙකින් පර්ය්යවදාත ද එහෙයින් අනඞ්ගණ යැ යම්හෙයෙකින් අනඞ්ගණ ද එහෙයින් විගතෝපක්ලේශ යැ යම්හෙයෙකින් විගතෝපක්ලේශ ද එහෙයින් මෘදු යැ යම්හෙයෙකින් මෘදු වී ද එහෙයින් කර්මණ්ය යැ යම්හෙයෙකින් කර්මක්ෂම ද එහෙයින් ස්ථිත යැ යම්හෙයෙකින් ස්ථිත වී ද එහෙයින් අනිඤ්ජනප්රාප්ත යි. එහි අඞ්ගණ ද උපක්ලේශ ද යන දෙක තෘෂ්ණාපක්ෂයෙහි වෙයි, චිත්තයාගේ යම් චලනයෙක් ඇද්ද චිත්තයාගේ යම් අනවස්ථානයෙක් ඇද්ද මේ දෙක දෘෂ්ටිපක්ෂයෙහි වේ.
දුක්ඛින්ද්රිය දෝමනස්සින්ද්රිය සුඛින්ද්රිය සෝමනස්සින්ද්රිය ද යන සතර ඉන්ද්රියයෝ චතුර්ත්ථධ්යානයෙහි නිරුද්ධ වෙති. ඒ යෝගීහුගේ උපෙක්ඛින්ද්රිය අවශිෂ්ට වූයේ වේ.
ඒ යෝගාවචර මතුයෙහි වූ ආකාසානඤ්චායතන සමාපත්තිය (අඞ්ගශාන්තතායෙන් ද ආලම්බනශාන්තතායෙන් ද) ශාන්තවශයෙන් මෙනෙහි කෙරෙයි, උපරිම සමාපත්තිය ශාන්තහෙයින් මෙනෙහිකරන ඔහුට චතුර්ත්ථධ්යානයෙහි ඖදාරික (අවුපසන්ත) යැ යන සංඥාව එළඹසිටී, පටිඝසඤ්ඤා සංඛ්යාත පඤ්ච විඥානසංඥායෙහි උත්කණ්ඨා (අනභිරතිය) ද පිහිටයි. ඒ යෝගාවචර සර්වප්රකාරයෙන් රූපසංඥාවත් ඉක්මැවීමෙන් ප්රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාලම්බනයෙහි පැවැති සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් කසිණුග්ඝාටිමාකාසය අනන්ත යයි ආකාසානඤ්චායතන සමාපත්තිය උපයා ඊට පැමිණ වාසකෙරෙයි. රූපාවචරසංඥාව පඤ්චවිධ අභිඥාර්ත්ථයාගේ අභිනීහාරමාත්රයෙකි, (අරූපාවචරසමාපත්තීන් මෙන් ශාන්ත නොවෙයි සේයි.) නානාත්වසංඥාව නානාලම්බනයෙහි චිත්තයාගේ ආකුලප්රවෘත්තියෙකැයි (එහි ආදීනව දැක රූපාවචර සමාපත්ති) ඉක්මවයි. (ආකාසානඤ්චායතනසමාපත්තිය උපදවන) ඒ යෝගීහුගේ දසවිධ පටිඝ (විඥාන) සංඥාව ද අභ්යස්තයට යෙයි. (මෙයින් ප්රථමාරූප්යසමාපත්තිය ප්රකාශ කළහ.) මෙසේ (උක්තප්රකාරයෙන් චතුර්ත්ථධ්යානයෙහි චිත්තෛකාග්රතාවද ඉක්මැවීමෙන්) සමාහිත වූ (යළි) ශාන්ත වූ ආරූප්යසමාධියෙන් සමාහිත වූවහුගේ රූපාවචරධ්යානාවභාසය ද රූපාවචරධ්යානචක්ෂුසින් කසිණරූපදර්ශනය ද අතුරුදහන් වෙයි. ඒ යථෝක්ත රූපාරූපසමාධිය (උපකාරක පරිෂ්කාරස්වභාව වූ) ෂඩඞ්ගයෙන් සමන්වාගත වූයේ ප්රත්යවේක්ෂා කටයුත්තේය, (පුනපුනා සිතියැයුතු යැයි සේයි.) ප්රියසාතරූප වූ සියලු සත්ත්ව - සංස්කාරලෝකයෙහි මාගේ සිත අනභිධ්යාසහගත යැ, මාගේ සිත සියලු සත්ත්වයන් කෙරෙහි ව්යාපාදයට නො පැමිණියේ යැ, මා විසින් වීර්ය්යය ආරබ්ධ වූයේ දැඩිව ගන්නාලද,