3. 1. 7.
ආවට්ටහාරවිභඞ්ගය
එහි ‘ආවට්ට’ හාරය කවරෙ යත්: “ඒකම්හි පදට්ඨානෙ” යන නිර්දේශ ගාථාව යැ.
1. ආරම්භධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, කෞෂිද්‍යයෙන් නික්මයන නිෂ්ක්‍රමධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, ශමථ විදර්‍ශනා සංඛ්‍යාත බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වවු, බලසම්පන්න ඇත්රජෙක් බටදඬින් කළ ගෙයක් ඇසිල්ලෙකින් වනසන්නාක් මෙන් මරහුගේ කාමාදි ක්ලේශසේනාව විද්ධ්වංසන කරව’ යි.
“ආරභථ නික්ඛමථ” යනු: (වීර්‍ය්‍යාරම්භයෙහි යොදවන හෙයින්) වීර්‍ය්‍යයට පදට්ඨාන (ආසන්න කාරණ) යි. “යුඤ්ජථ බුද්ධසාසනෙ” යනු: සමාධියට පදට්ඨාන යි. “ධූනාථ මච්චූනෝ සේනං නළාගාරංව කුඤ්ජරො” යනු: ප්‍රඥාවට පදට්ඨාන යි. “ආරභථ නික්ඛමථ” යනු: වීරියින්‍ද්‍රියට පදට්ඨාන යි. “යුඤ්ජථ බුද්ධසාසනෙ” යනු: සමාධීන්‍ද්‍රියට පදට්ඨාන යි. “ධූනාථ මච්චූනෝ සේනං නළාගාරංව කුඤ්ජරො” යනු: පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යි. මෙ කියනලද වීර්‍ය්‍යාදීන්ගේ පදට්ඨානයෝ “ආරභථ නික්ඛමථ” යනාදි දේශනාව යි. (වීර්‍ය්‍යාරම්භවස්තු ආදීහු නො වෙතී සේ යි.)
(මෙසේ පදට්ඨාන වශයෙන් අර්‍ත්‍ථනිර්‍ධාරණය කොට දැන් එය සභාගවිසභාග වශයෙන් ආවර්‍තන කරන්නට තත් භූමි දක්වති.) භාවනායෝගයෙහි නොයෙදෙන නො මූකළනුවණැති සත්ත්‍වයන්ගේ මතු අවබෝධය පිණිස ද යෝගයෙහි යෙදෙන මූකළනුවණැති සත්ත්‍වයන්ගේ ඉහාත්මයෙහි අවබෝධය පිණිස ද මේ දේශනාරම්භය වේ. එහි යම් කෙනෙක් භාවනායෝගයෙහි නො යෙදෙත් ද, ඔහු ප්‍රමාදමූලක ව නො යෙදෙත්. ඒ ප්‍රමාදය: තණ්හාමූලක යැ අවිජ්ජාමූලක යැයි දෙවැදෑරුම් වෙයි. එහි අවිද්‍යාමූලක ප්‍රමාදය: (පඤ්චස්කන්‍ධයාගේ ස්වලක්‍ෂණ සාමාන්‍යලක්‍ෂණ ප්‍රතිච්ඡාදන කරන) යම් සම්මෝහයකින් වැසුණේ පඤ්චස්කන්‍ධය උදයව්‍යයස්වභාව ඇතැ’ යි (‘ඉතිරූපං’ යනාදීන් පැවති) ඥාන ප්‍රවෘත්තිකාරණය නො දනී ද, මේ අවිජ්ජාමූලක ප්‍රමාද යි. යම් තණ්හාමූලක ප්‍රමාදයෙක් ඇද්ද එය ත්‍රිවිධ යැ: නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස (උපාය) පර්‍ය්‍යෙෂණ කරනුයේ ප්‍රමාදයට පැමිණෙයි. උපන් භෝගයන්ගේ ආරක්‍ෂාව නිමිති කොට ද පරිභෝගය නිමිති කොට ද ප්‍රමාදයට පැමිණෙයි. ලොවැ මේ චතුර්විධ ප්‍රමාදය යි. අවිද්‍යායෙන් ඒකවිධ යැ, තෘෂ්ණායෙන් ත්‍රිවිධ යි. එහි අවිද්‍යාවට නාමකාය පදට්ඨාන (ආසන්නකාරණ) යැ, තෘෂ්ණාවට රූපකාය පදට්ඨාන යි. එ කවර හෙයින යත්: රූපධර්‍මයන් කෙරෙහි (තෘෂ්ණාවශයෙන්) අභිනිවේශය ද, අරූපභවධර්‍මයන් කෙරෙහි (ඵස්සාදීන්ගේ අතිසුඛමස්වභාව හෙයින් ද සන්තති ආදි ඝනවිනිර්භෝගය දුෂ්කර හෙයින් ද) සම්මෝහය ද වෙයි, එහෙයිනි. එහි රූපකාය රූපස්කන්‍ධ යැ නාමකාය සතර අරූපීස්කන්‍ධයෝ යි. මේ පඤ්චස්කන්‍ධයෝ කවර උපාදානයෙකින් සඋපාදන වෙති යත්: තෘෂ්ණායෙන් ද අවිද්‍යායෙන් ද උපාදාන සහිත වෙත්. එහි තෘෂ්ණාව කාමූපාදාන ද සීලබ්බතූපාදාන දැයි උපාදාන දෙකෙකි. අවිද්‍යාව දිට්ඨුපාදානය ද අත්තවාදූපාදානය දැයි උපාදාන දෙකෙකි. මේ සතර උපාදානයෙන් සඋපාදාන වූ යම් ස්කන්‍ධ කෙනෙක් වෙත් ද, මේ දුක්ඛ යැ, යම් සතර උපාදානයෝ වෙත් ද මේ සමුදය යැ, පඤ්චස්කන්‍ධයෝ දුක්ඛයි. භාග්‍යවතුන් වහන්සේ ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥානය පිණිස ද ප්‍රහාණය පිණිස ද දහම් දෙසන සේක. දුක්ඛයාගේ පරිඥානය පිණිස යැ සමුදයාගේ ප්‍රහාණය පිණිස යි.
එහි තෘෂ්ණාමූලක වූ යම් ත්‍රිවිධ ප්‍රමාදයෙක් නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස උපාය සොයා ද, උපන් භෝගයන්ගේ ආරක්‍ෂාවත් පරිභෝගනිමිත්තත් කෙරේ ද, ඒ ප්‍රමාදයාගේ (ආස්වාදාදිය) මොනොවට දැනීමෙන් ස්වකීය චිත්තසන්තානය රැකීමෙන් ප්‍රමාදයට ප්‍රතිපක්‍ෂවශයෙන් හැකිළීමෙක් වේ ද, මේ සමථය යි, ඒ සමථය කිසෙයින් වේ යැ යත්: යම් කලෙක වස්තුකාමක්ලේශකාමයන්ගේ ආස්වාදය ද ආස්වාදමාත්‍රයෙන් ආදීනවය ද ආදීනවයෙන් නිස්සරණය ද නිස්සරණයෙන් (කාමයන්ගේ) ලාමකබව ද කෙලෙසිලිබව ද විශුද්ධවීම ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද දැනගනී. ඒ යථෝක්ත ශමථය ඇති කල්හි යම් වීමංසා සංඛ්‍යාත ප්‍රඥාවක් විමසීමක් ඇද්ද මේ විදර්‍ශනා යි. ශමථය ද විදර්‍ශනාව ද යන ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්. මේ ධර්‍ම දෙක වැඩෙන කල්හි තෘෂ්ණාව ද අවිද්‍යාව ද ධර්‍මයෝ දෙදෙන ප්‍රහීණ වෙති. මේ තණ්හා අවිජ්ජා ධර්‍මදෙක ප්‍රහීණ කල්හි සතර උපාදානයෝ නිරුද්ධ වෙත්. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි,