එහි තෘෂ්ණාව ද අවිද්‍යාව ද දුර්‍ගතීන් ට හේතු යැ, ඔහු සතර උපාදානයෝ වෙති, ඒ සතර උපාදානයෙන් සඋපාදානවු යම් ස්කන්‍ධ කෙකෙනෙක් ද ඇද්ද, මේ දුක යැ, සතර උපාදානයෝ සමුදය යැ, පඤ්චස්කන්‍ධයෝ දුක්ඛ යි. බුදුහු ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥාව ද ප්‍රහාණය ද සඳහා දහම් දෙසනසේක. දුඃඛයාගේ පරිඥාව පිණිස යැ, සමුදයාගේ ප්‍රහාණය පිණිසයි. එහි තෘෂ්ණාවට රූපී පඤ්චේන්‍ද්‍රියයෝ පදට්ඨාන යැ, අවිද්‍යාවට මන ඉන්‍ද්‍රිය පදට්ඨාන යි. රූපී පඤ්චේන්‍ද්‍රියයන් රක්නේ සමාධිය වඩයි. තෘෂ්ණාව ද නිගනී. මන ඉන්‍ද්‍රිය රක්නේ විදර්‍ශනාව වඩයි, අවිද්‍යාව ද නිගනී. තෘෂ්ණානිග්‍රහයෙන් කාමූපාදානය ද සීලබ්බතූපාදානය ද යන උපාදානයෝ දෙදෙන ප්‍රහීණ වෙති, අවිද්‍යා නිග්‍රහයෙන් දිට්ඨූපාදානය ද අත්තවාදූපාදානය ද යන උපාදානයෝ දෙදෙන ප්‍රහීණ වෙත්. සතර උපාදානයන් ප්‍රහීණ කල්හි ශමථය ද විදර්‍ශනාව ද යන ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් පාරිපුරියට යෙත්. මේ ‘බ්‍රහ්මචරිය’ යි කියනු ලැබේ. එහි බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලය: ශ්‍රෝතාපත්තිඵල සකෘදාගාමිඵල අනාගාමිඵල අර්‍හත්‍ව අග්‍රඵල යන සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ යැ. මේ සතර බ්‍රහ්මචර්‍ය්‍යඵලයෝ යි. මෙසේ දුඃඛය ද සමුදය ද යන පළමු කී සත්‍යයෝ දෙදෙන යැ, ශමථය ද විදර්‍ශනාව ද බ්‍රහ්මචර්‍ය්‍යය ද මාර්‍ග යැ, බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලයෝ ද තදාලම්බන වූ අසඞ්ඛතධාතුව ද නිරෝධයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ: “ධම්මෝ හවෙ රක්ඛති” යී. ඒ දේශනායෙහි ප්‍රතිවේධයෙන් යමක් රකී ද මේ දුඃඛ යැ, යමක්හු කෙරෙන් රකී ද මේ සමුදය යැ, යමක් කරණකොට රකී ද මේ මාර්‍ග යැ, යමක් රකී ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: “ඒකම්හි පදට්ඨානෙ” යනාදිය.
ආවට්ටහාරය යොදනලදී.
3. 1. 8.
විභත්තිහාරවිභඞ්ගය
එහි විභත්තිහාරය කවරෙ යැ: “ධම්මං ච පදට්ඨානං භූමිං ච” යනාදි නිද්දේස ගාථායි. ‘වාසනාභාගිය’ සූත්‍ර ද ‘නිබ්බේධභාගිය’ සූත්‍ර දැ යි සූත්‍ර දෙකෙකි. ‘පුඤ්ඤභාගිය’ ප්‍රතිපදා ද ‘ඵලභාගිය’ ප්‍රතිපදා දැ’ යි ප්‍රතිපදා දෙකෙකි. ‘සංවර’ සීලය ද ‘පහාන’ සීලය දැ’ යි ශීල දෙකෙකි. ඒ සූත්‍ර - ප්‍රතිපදා - ශීලයන් කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ වාසනාභාගිය සූත්‍ර පුඤ්ඤභාගිය ප්‍රතිපදාව සඳහා දෙසන සේක. ඒ (ධර්‍මප්‍රතිග්‍රාහක) පුද්ගලසංවරශීලයෙහි සිටියේ ඒ සංවරශීල සංඛ්‍යාත ශ්‍රේෂ්ඨචර්‍ය්‍යායෙන් බඹසර ඇත්තේ වෙයි. එහි භාග්‍යවතුන් වහන්සේ නිබ්බේධභාගිය සූත්‍රය ඵලභාගිය ප්‍රතිපදාව සඳහා දෙසන සේක. ඒ (නිබ්බේධභාගිය දේශනාප්‍රතිග්‍රාහක) පුද්ගල ප්‍රහාණශීලයෙහි සිටියේ ඒ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයයෙන් බඹසර ඇත්තේ වේ.
එහි වාසනාභාගිය සූත්‍රය කවරෙ යැ: ‘දානකථා සීලකථා ස්වර්‍ගකථා කාමයන්ගේ ආදීනව නෛෂ්ක්‍රම්‍යයෙහි ආනෘශංස’ යන මේ වාසනාභාගිය සූත්‍ර නම් වෙයි. එහි නිබ්බේධභාගිය සූත්‍රය කවරෙ යැ: යම් චතුස්සසත්‍යය ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ නිබ්බේධභාගිය සූත්‍ර නම් වේ. වාසනාභාගිය සූත්‍රයෙහි ආර්‍ය්‍යමාර්‍ගයට පදට්ඨාන වු වුත්‍ථානගාමිනී විදර්‍ශනාප්‍රඥාව නැත, ආර්‍ය්‍යමාර්‍ගය නැත, ශ්‍රාමණ්‍යඵලය නැති. නිබ්බේධභාගිය සූත්‍රයෙහි වූත්‍ථානගාමිනී විදර්‍ශනාප්‍රඥාව ඇත, ආර්‍ය්‍යමාර්‍ගය ඇත, ශ්‍රාමණ්‍යඵලය ඇති. (යථෝක්ත වාසනාභාගිය නිබ්බේධභාගිය සූත්‍ර යැ වක්‍ෂ්‍යමාන සඞ්කිලේසභාගිය අසෙක්ඛභාගිය සූත්‍ර යැ යන) මේ සතර සූත්‍රයෝ යි. මේ සතර සූත්‍රයන්ගේ දේශනානයින් ද දේශනාඵලයෙන් ද ශීලයෙන් ද බ්‍රහ්මචර්‍ය්‍යයෙන් ද සර්‍වප්‍රකාරයෙන් (විචයහාර විෂය වූ එකොළොස් තැන්හි ලා සංක්‍ෂිප්ත කොට) විචයහාරයෙන් විචිනනය කොට (සොයා) යුක්තිහාරයෙන් ඥානයාගේ භූමිය යම්තාක් වේ ද ඒතාක් යෙදිය යුත්තාහු ය.
එහි සාධාරණ (සමාන) වු ස්වභාවධර්‍මයෝ කවරහ: (කුශලාකුශලාදි) නාමයෙන් සාධාරණයෝ ද සමානවස්තුක හෙයින් වස්තුසාධාරණයෝ දැයි සාධාරණ ධර්‍මයෝ දෙදෙනෙකි. තවද, කෘත්‍ය ප්‍රත්‍යය ප්‍රතිපක්‍ෂාදි වශයෙන් සමාන වු යම් කිසි අන්‍ය වූත් ස්වභාවයෙක් ඇද්ද ඒ සාධාරණ ධර්‍ම යි. මාතෘවධාදි මිච්ඡත්තනියත සත්ත්‍වයන්ගේ ද අනියත සත්ත්‍වයන්ගේ ද ශ්‍රෝතාපත්තිමාර්‍ග සංඛ්‍යාත දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ක්ලේශයෝ සාධාරණයෝ යැ, පුහුදුන්හට ද සෝවන්හට ද කාමරාග - ව්‍යාපාදයෝ සාධාරණ යැ, පුහුදුන්හට ද අනගැමිහට ද උද්ධංභාගියසංයෝජනයෝ සාධාරණ යැ, ආර්‍ය්‍යශ්‍රාවක යම් කිසි ලෞකික සමාපත්තියකට සමවදී ද එ හැම අවීතරාගයන් හා සාධාරණ යැ. එ එසේ මැය, සාධාරණ ධර්‍මයෝ මෙසේ ඔවුනොවුන් වෙනවෙන ම ස්වකීය ස්වකීය විෂය නො ඉක්මවති. යම් පුද්ගලයෙකුත් මේ ලෞකික සමාපත්තිධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ ද ඒ පුද්ගල ඒ ධර්‍මය නො ඉක්මවයි. මේ සාධාරණ ධර්‍මයෝ යි.
එහි අසාධාරණ ධර්‍මයෝ කවරහ: ආර්‍ය්‍යයන් කෙරෙහි, ශෛක්‍ෂ අශෛක්‍ෂයෝ යැ, අනාර්‍ය්‍යයන් කෙරෙහි භව්‍ය අභව්‍යයෝ යැයි (ඒ ඒ පුද්ගලයාට ප්‍රත්‍යාත්මනියත වශයෙන්) වදාළ දේශනාව ගෙන අසාධාරණ ධර්‍මයෝ සෙවිය යුත්තාහ. (සෝවන්මඟ පත්) අට්ඨමකයාහට ද සෝවන්හට ද කාමරාගව්‍යාපාදයෝ සාධාරණයෝ යැ ධර්‍මස්වභාව අසාධාරණ යි. (ද්වාදශශ්‍රමණයන් කෙරෙහි අට්ඨමක වු) අනාගාමීමාර්‍ගස්ථයාහට ද අනාගාමීහට ද උද්ධංභාගිය සංයෝජනයෝ සාධාරණයහ, ධර්‍මස්වභාව අසාධාරණ යි. සියලු ශෛක්‍ෂයනට ‘සෙක්ඛ’ යන නාමය සාධාරණ යැ, ධර්‍මස්වභාව අසාධාරණ යි. සියලු ප්‍රතිපන්නකයනට ‘පටිපන්නක’ යන නාමය සාධාරණ යැ, ධර්‍මස්වභාව අසාධාරණ යි. සියලු ශෛක්‍ෂයනට ශෛක්‍ෂශීලය සාධාරණ යැ, ධර්‍මස්වභාව අසාධාරණ යි. මෙසේ (ආර්‍ය්‍යයනට කී සෙයින් අන්‍යයනට ද) අසාධාරණතාවිශේෂ දක්නහු විසින් හීන ප්‍රණීත මධ්‍යම ධර්‍මස්වභාව ගෙන අසාධාරණතා සෙවිය යුතු යි.
(මෙසේ ධම්මවිභත්ති දක්වා භූමි - පදට්ඨානවිභත්ති වදාරති.) සෝතාපත්තිමග්ග සංඛ්‍යාත දර්‍ශනභූමිය සම්මත්තනියාමයට පැමිණීමට පදට්ඨාන (ආසන්නකාරණ) යැ, භාවනාභූමිය මතුමතුයෙහි ඵලප්‍රාප්තියට පදට්ඨාන යැ, දුක්ඛපටිපදාව දන්‍ධාභිඤ්ඤසමථයට පදට්ඨාන යැ, සුඛ පටිපදාව ඛිප්පාභිඤ්ඤ් විපස්සනාවට පදට්ඨාන යැ, දානමය පුණ්‍යක්‍රියා වස්තුව පරතෝඝෝස (ධර්‍මශ්‍රවණ)යට සාධාරණ පදට්ඨාන යැ, ශීලමය පුණ්‍යක්‍රියා වස්තුව චින්තාමයි ප්‍රඥාවට සාධාරණ පදට්ඨාන යැ, භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුව (මත්තෙහි ධ්‍යාන සංඛ්‍යාත විදර්‍ශනා සංඛ්‍යාත) භාවනාමයි ප්‍රඥාවට සාධාරණ පදට්ඨාන යි. යළිදු දානමය පුණ්‍යක්‍රියාවස්තුව පරතෝඝෝසයට ද සුතමයි ප්‍රඥාවට ද සාධාරණ පදට්ඨාන යැ, ශීලමය පුණ්‍යක්‍රියාවස්තුව චින්තාමයි ප්‍රඥාවට ද යෝනිසෝමනසිකාරයට ද සාධාරණ පදට්ඨාන යැ, සමථභාවනාමය පුණ්‍යක්‍රියාවස්තුව (මත්තෙහි ධ්‍යාන - විදර්‍ශනා) භාවනාමයි ප්‍රඥාවට ද සම්මාදිට්ඨියට ද සාධාරණ පදට්ඨාන යි. ප්‍රතිරූපදේශවාසය කායචිත්තවිවේකයට ද උපචාර අපර්‍ණා සමාධියට ද සාධාරණ පදට්ඨාන යැ, සත්පුරුෂෝපනිශ්‍රය බුද්ධාදීන් පිළිබඳ ත්‍රිවිධ අවෙත්‍යප්‍රසාදයට (ගුණ දැන පැහැදීමට) ද ශමථයට ද සාධාරණ පදට්ඨාන යැ, ආත්මසම්‍යක්ප්‍රණිධානය පාපජුගුප්සා ලක්‍ෂණ ලජ්ජාවට ද විදර්‍ශනාවට ද සාධාරණ පදට්ඨාන යැ, අකුශලපරිත්‍යාගය කුසලවීමංසා සංඛ්‍යාත පටිසඞ්ඛානුපස්සනාවට ද සමාධීන්‍ද්‍රියට ද සාධාරණ පදට්ඨාන යැ, ධර්‍ම ස්වාඛ්‍යාතභාවය කුසලමූලරෝපණයට ද ඵලසමාපත්තියට ද සාධාරණ පදට්ඨාන යැ, සඞ්ඝසුප්‍රතිපන්නභාවය සඞ්ඝයාගේ සුට්ඨුභාවයට සාධාරණ පදට්ඨාන යැ, ශාස්තෘ සම්පදාව අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට ද ප්‍රසන්නයන්ගේ ප්‍රසාදභූයස්ත්‍වයට ද සාධාරණ පදට්ඨාන යැ, අප්‍රතිහත ප්‍රාතිමෝක්‍ෂ ඇතිබව දුශ්ශීලපුද්ගලයන්ගේ නිග්‍රහයට ද ප්‍රියශීල පුද්ගලයන්ගේ සුඛවිහරණයට ද සාධාරණ පදට්ඨාන යි. එයින් වදාළහ, මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “ධම්මං ච පදට්ඨානං” යනාදිය.
විභත්තිහාර යොදන ලද්දේ යි.