5. (යම් හෙයෙකින් අරක්‍ෂිත සිත් ඇතියේ මාරවශීව සසර මැ වෙසේ ද) එහෙයින් සතිසංවරයෙන් රක්නාලද සිත් ඇතිවන්නේ යැ, නෙක්ඛම්මාදි සම්‍යක්සඞ්කල්ප ගෝචර කොට ඇතිවන්නේ යැ, (කම්මස්සකතා යථාභූතඤාණ ලක්‍ෂණ) සම්‍යග්දෘෂ්ටිය පෙරටු කොට ඇතියේ (පඤ්චස්කන්‍ධයෙහි සමපනස් වැදැරුම්) උදයව්‍යය දැන (හඞ්ගානු පස්සනාදි වශයෙන් විදසුන් වඩා) රහත් මගින් ථිනමිද්ධය නැසූ ක්‍ෂීණාස්‍රව මහණ සියලු දුර්‍ගති දුරු කරන්නේ යි.
එහි තෘෂ්ණාව ද අවිද්‍යාව ද දුර්‍ගතීන් ට හේතු යැ, ඔහු සතර උපාදානයෝ වෙති, ඒ සතර උපාදානයෙන් සඋපාදානවු යම් ස්කන්‍ධ කෙකෙනෙක් ද ඇද්ද, මේ දුක යැ, සතර උපාදානයෝ සමුදය යැ, පඤ්චස්කන්‍ධයෝ දුක්ඛ යි. බුදුහු ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥාව ද ප්‍රහාණය ද සඳහා දහම් දෙසනසේක. දුඃඛයාගේ පරිඥාව පිණිස යැ, සමුදයාගේ ප්‍රහාණය පිණිසයි. එහි තෘෂ්ණාවට රූපී පඤ්චේන්‍ද්‍රියයෝ පදට්ඨාන යැ, අවිද්‍යාවට මන ඉන්‍ද්‍රිය පදට්ඨාන යි. රූපී පඤ්චේන්‍ද්‍රියයන් රක්නේ සමාධිය වඩයි. තෘෂ්ණාව ද නිගනී. මන ඉන්‍ද්‍රිය රක්නේ විදර්‍ශනාව වඩයි, අවිද්‍යාව ද නිගනී. තෘෂ්ණානිග්‍රහයෙන් කාමූපාදානය ද සීලබ්බතූපාදානය ද යන උපාදානයෝ දෙදෙන ප්‍රහීණ වෙති, අවිද්‍යා නිග්‍රහයෙන් දිට්ඨූපාදානය ද අත්තවාදූපාදානය ද යන උපාදානයෝ දෙදෙන ප්‍රහීණ වෙත්. සතර උපාදානයන් ප්‍රහීණ කල්හි ශමථය ද විදර්‍ශනාව ද යන ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් පාරිපුරියට යෙත්. මේ ‘බ්‍රහ්මචරිය’ යි කියනු ලැබේ. එහි බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලය: ශ්‍රෝතාපත්තිඵල සකෘදාගාමිඵල අනාගාමිඵල අර්‍හත්‍ව අග්‍රඵල යන සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ යැ. මේ සතර බ්‍රහ්මචර්‍ය්‍යඵලයෝ යි. මෙසේ දුඃඛය ද සමුදය ද යන පළමු කී සත්‍යයෝ දෙදෙන යැ, ශමථය ද විදර්‍ශනාව ද බ්‍රහ්මචර්‍ය්‍යය ද මාර්‍ග යැ, බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලයෝ ද තදාලම්බන වූ අසඞ්ඛතධාතුව ද නිරෝධයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ: “ධම්මෝ හවෙ රක්ඛති” යී. ඒ දේශනායෙහි ප්‍රතිවේධයෙන් යමක් රකී ද මේ දුඃඛ යැ, යමක්හු කෙරෙන් රකී ද මේ සමුදය යැ, යමක් කරණකොට රකී ද මේ මාර්‍ග යැ, යමක් රකී ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: “ඒකම්හි පදට්ඨානෙ” යනාදිය.
ආවට්ටහාරය යොදනලදී.
3. 1. 8.
විභත්තිහාරවිභඞ්ගය
එහි විභත්තිහාරය කවරෙ යැ: “ධම්මං ච පදට්ඨානං භූමිං ච” යනාදි නිද්දේස ගාථායි. ‘වාසනාභාගිය’ සූත්‍ර ද ‘නිබ්බේධභාගිය’ සූත්‍ර දැ යි සූත්‍ර දෙකෙකි. ‘පුඤ්ඤභාගිය’ ප්‍රතිපදා ද ‘ඵලභාගිය’ ප්‍රතිපදා දැ’ යි ප්‍රතිපදා දෙකෙකි. ‘සංවර’ සීලය ද ‘පහාන’ සීලය දැ’ යි ශීල දෙකෙකි. ඒ සූත්‍ර - ප්‍රතිපදා - ශීලයන් කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ වාසනාභාගිය සූත්‍ර පුඤ්ඤභාගිය ප්‍රතිපදාව සඳහා දෙසන සේක. ඒ (ධර්‍මප්‍රතිග්‍රාහක) පුද්ගලසංවරශීලයෙහි සිටියේ ඒ සංවරශීල සංඛ්‍යාත ශ්‍රේෂ්ඨචර්‍ය්‍යායෙන් බඹසර ඇත්තේ වෙයි. එහි භාග්‍යවතුන් වහන්සේ නිබ්බේධභාගිය සූත්‍රය ඵලභාගිය ප්‍රතිපදාව සඳහා දෙසන සේක. ඒ (නිබ්බේධභාගිය දේශනාප්‍රතිග්‍රාහක) පුද්ගල ප්‍රහාණශීලයෙහි සිටියේ ඒ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයයෙන් බඹසර ඇත්තේ වේ.
එහි වාසනාභාගිය සූත්‍රය කවරෙ යැ: ‘දානකථා සීලකථා ස්වර්‍ගකථා කාමයන්ගේ ආදීනව නෛෂ්ක්‍රම්‍යයෙහි ආනෘශංස’ යන මේ වාසනාභාගිය සූත්‍ර නම් වෙයි. එහි නිබ්බේධභාගිය සූත්‍රය කවරෙ යැ: යම් චතුස්සසත්‍යය ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ නිබ්බේධභාගිය සූත්‍ර නම් වේ. වාසනාභාගිය සූත්‍රයෙහි ආර්‍ය්‍යමාර්‍ගයට පදට්ඨාන වු වුත්‍ථානගාමිනී විදර්‍ශනාප්‍රඥාව නැත, ආර්‍ය්‍යමාර්‍ගය නැත, ශ්‍රාමණ්‍යඵලය නැති. නිබ්බේධභාගිය සූත්‍රයෙහි වූත්‍ථානගාමිනී විදර්‍ශනාප්‍රඥාව ඇත, ආර්‍ය්‍යමාර්‍ගය ඇත, ශ්‍රාමණ්‍යඵලය ඇති. (යථෝක්ත වාසනාභාගිය නිබ්බේධභාගිය සූත්‍ර යැ වක්‍ෂ්‍යමාන සඞ්කිලේසභාගිය අසෙක්ඛභාගිය සූත්‍ර යැ යන) මේ සතර සූත්‍රයෝ යි. මේ සතර සූත්‍රයන්ගේ දේශනානයින් ද දේශනාඵලයෙන් ද ශීලයෙන් ද බ්‍රහ්මචර්‍ය්‍යයෙන් ද සර්‍වප්‍රකාරයෙන් (විචයහාර විෂය වූ එකොළොස් තැන්හි ලා සංක්‍ෂිප්ත කොට) විචයහාරයෙන් විචිනනය කොට (සොයා) යුක්තිහාරයෙන් ඥානයාගේ භූමිය යම්තාක් වේ ද ඒතාක් යෙදිය යුත්තාහු ය.