“සබ්බපාප” නම්: කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යන තුන් දුශ්චරිතයෝ යි. ඔහු දශඅකුශල කර්‍මපථයෝ යැ: පාණාතිපාත යැ අදින්නාදාන යැ කාමෙසු මිච්ඡාචාර යැ මුසාවාද යැ පිසුනාවාචා යැ ඵරුසාවාචා යැ සම්ඵප්පලාප යැ අභිජ්ඣා යැ ව්‍යාපාද යැ මිච්ඡාදිට්ඨි යි. ඔහු චේතනා කර්‍මය ද චේතසික කර්‍මය දැයි කර්‍මයෝ දෙදෙනෙක් වෙති. එහි යම් පාණාතිපාතයෙක් පිසුනාවාචායෙක් ඵරුසාවාචායෙක් ඇද්ද, මේ දෝසසමුට්ඨාන යැ, යම් අදින්නාදානයෙක් කාමෙසුමිච්ඡාචාරයෙක් මුසාවාදයෙක් ඇද්ද, මේ ලෝභසමුට්ඨාන යැ, යම් සම්ඵප්පලාපයෙක් වේ ද මේ මෝහ සමුට්ඨාන යි. මේ සත් කරුණ චේතනාකර්‍ම යැ, යම් අභිධ්‍යාවක් ඇද්ද මේ ලෝභ අකුශලමූල යැ, යම් ව්‍යාපාදයෙක් ඇද්ද දෝසඅකුශලමූල යැ, යම් මිත්‍ථ්‍යාදෘෂ්ටියක් ඇද්ද මේ මිත්‍ථ්‍යාමාර්‍ග යි. මේ තුන් කරුණ චේතසික කර්‍ම යි. එයින් කීහ: “චේතනාකම්මං චේතසිකං කම්මං” යී.
අකුශලමූලය ප්‍රයෝගයට යනුයේ සිවුවැදෑරුම් අගතියට යෙයි: ඡන්‍දයෙන් දෝසයෙන් භයින් මෝහයෙනි. එහි ඡන්‍දහේතුයෙන් යම් අගතියකට යේ ද මේ ලෝභසමුට්ඨාන යැ, දෝසයෙන් යම් අගතියකට යේ ද මේ දෝසසමූට්ඨාන යැ, භයින් ද මෝහයෙන් ද යම් අගතියකට යේ ද මේ මෝහසමුට්ඨාන යි. ඔවුන් කෙරෙහි ලෝභය අසුභභාවනායෙන් ප්‍රහීණ වෙයි, ද්වේෂය මෙත්තාභාවනායෙන් ප්‍රහීණ වෙයි, මෝහය පඤ්ඤාභාවනායෙන් ප්‍රහීණ වේ. එසේ මැ ලෝභය උපේක්‍ෂායෙන් ප්‍රහීණ වෙයි, ද්වේෂය මෙත්තායෙන් ද කරුණායෙන් ද ප්‍රහීණ වෙයි, මෝහය මුදිතායෙන් ප්‍රහාණයට අභ්‍යස්තයට යේ. එයින් වදාළහ, බුදුහු: “සබ්බපාපස්ස අකරණං” යී.
“සබ්බපාප” නම්: මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාසංකල්ප යැ මිථ්‍යාවාක් යැ මිථ්‍යාකර්‍මාන්ත යැ මිථ්‍යාආජීව යැ මිථ්‍යාව්‍යායාම යැ මිථ්‍යාස්මෘති යැ මිත්‍ථ්‍යාසමාධි යැ යන අටවැදෑරුම් මිච්ඡත්තයෝ යි. මේ ‘සබ්බපාප’ යයි කියනු ලැබේ. මේ අටවැදෑරුම් මිථ්‍යාත්‍වයන්ගේ යම් අක්‍රියාවක් අකරණයක් අනධ්‍යාචාරයෙක් (නො ඉපදවීමෙක්) ඇද්ද මේ “සබ්බපාපස්ස අකරණං” යයි කියනු ලැබේ. අෂ්ට මිථ්‍යාත්‍වයන් ප්‍රහීණ කල්හි අෂ්ට සම්‍යක්ත්‍වයෝ සම්පාදනය වෙති. අටවැදෑරුම් සම්‍යක්ත්‍වයෙන්ගේ යම් ක්‍රියාවක් කරණයක් අධ්‍යාචාරයෙක් (ඉපදවීමෙක්) වේ ද මේ “කුසලස්ස උපසම්පදා” යී කියනු ලැබේ. “සචිත්තපරියෝදපනං” යී අතීත මාර්‍ගයාගේ භාවනාක්‍රියාව දක්වනසේක. චිත්තය පවිත්‍ර කළ කල්හි පඤ්චස්කන්‍ධයෝ පරියෝදපනය කළාහු වෙත්. ඒ එසේ මැ යැ: බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, චේතෝවිසුද්ධිය සඳහා තථාගතයන් කෙරෙහි බඹසර වසන්නේය” යි. ඒ එසේ මැ යැ: නීවරණප්‍රහාණය ද අනුශය සමුද්ඝාතය දැයි පරියෝදපනය දෙවැදෑරුම් වෙයි. දර්‍ශනභූමි ද භාවනාභූමි දැයි පරියෝදපනභූමි ද දෙකෙකි. එහි යමක් ප්‍රතිවේධ සංඛ්‍යාත පරිඥාභි සමයෙන් පරියෝදපනය කෙරේ ද මේ දුක්ඛ යැ, යමක්හු කෙරෙන් පිරිසිදුකෙරේ ද මේ සමුදය යැ, යමක් කරණ කොට පරියෝදපනය කෙරේ ද මේ මාර්‍ග යැ, යමක් පරියෝදපිත ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි, එයින් වදාළහ. බුදුහු: “සබ්බපාපස්ස අකරණං” යී.
4. දානාදි කුශලධර්‍ම තෙමේ ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේය, වැසිකලැ මහත් වු ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකීද එමෙනි, ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස් වෙයි, ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
ධර්‍මය නම්: ඉන්‍ද්‍රියසංවර යැ මාර්‍ග යැයි ද්විවිධ යැ, දුර්‍ගති නම් ද්විවිධ යැ: දේවමනුෂ්‍යයන්ගේ හෝ උපනිධි කොට සතර අපායයෝ දුර්‍ගති යැ, නිර්‍වාණය හෝ උපනිධි කොට සියලු උපප්‍රාප්තීහු දුර්‍ගති යැ. එහි සංවරසීලයෙහි යම් අඛණ්ඩකාරීබවක් ඇද්ද මේ සංවරශීලධර්‍මය මොනොවට ආචීර්‍ණ වූයේ සතර අපායෙන් රකී. බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, සිල්වත්හට දේවගතිය ද මනුෂ්‍යගතිය දැයි මේ ගති දෙකක් වෙති” යී
තවද මෙසේ ඇත: නාලන්‍දානිගමයෙහි අසිබන්‍ධක පුත්‍ර වූ ගාමිණී භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස පශ්චාද්භූමි වැසි බ්‍රාහ්මණයෝ කමඬලු ඇත්තාහු සෙවෙල්මාලා ඇත්තාහු උදයසවස ජලාවගාහ කරන්නාහු ගිනි පුදන්නාහු, ඔහු මළහු කලුරියපළහු උඩලොවට යවති, මොනවට යවති, (පිරිවරා සිට භවත, බඹලොවට යවයි කියමින්) ස්වර්‍ගයට යවති, වහන්ස භාග්‍යයතුන් වහන්සේ වැලිත් යම් පරිදි සියලු ලෝවැසි තෙමේ කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පිළිසඳ විසින් පැමිණේ නම්, එසේ කරන්නට පොහොසත් සේක් දැ” යි.
ග්‍රාමිණි එසේ නම් මෙ කරුණෙහි ලා තොප මැ පුළුවුස්මි, තොපට යම්සේ හැගේ නම් එසෙයින් එය ප්‍රකාශ කරව, ග්‍රාමණි ඒ කිමැයි හඟනාව, මෙ ලොවැ පුරුෂයෙක් ප්‍රාණවධ කරනුයේ අයිනාදන් ගන්නේ කාමයෙහි මිසහසර ඇතියේ මුසවා කියනුයේ පිසුනුබස් ඇතියේ පරොස්බස් ඇතියේ සිස් වදන් කියනුයේ අභිධ්‍යා බහුල කොට ඇතියේ ව්‍යාපාද සිත් ඇතියේ මිසදිටු ඇතියේ වේ ද, මහාජනසමූහයා තෙලපුඟුල්හු වෙත එක්වගෙන ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණේව’ යි අයදනේ නම් පසස්නේ නම් ඇඳිලිබැඳ සිසාරායන්නේ නම්, ග්‍රාමණි ඒ කිමැයි හඟනාව, කිම ඒ පුරුෂ මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නා හෙයින් වේව’ යි බඳැඳිලි වැ සිසාරායන හෙයින් වේවයි කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ දැ’ යි.