3. 1. 13.
සෝධනහාරවිභඞ්ගය
එහි සෝධනහාරය කවරෙ යැ: “විස්සජ්ජිතම්හි පඤ්හෙ” යනාදි නිද්දේසගාථා යි. ආයුෂ්මත් අජිත පාරායනයෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ පැන පුළුවුස්සි:
1. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි) ලෝවැසි තෙමේ කුමකින් වැසුණේ ද? කුමක් හේතු කොට ප්‍රකාශයට නො පැමිණේ ද? ඒ ලෝවැසිහට කුමක් අභිලේපන (ඇලීම) යයි වදාරන දැ ද? ඒ ලෝවැසියාට මහත් භයහේතුව කුමක් දැ’ යි.
2. (අජිත’ යී බුදුහු මෙසේ වදාරති) ධර්‍මස්වභාව ප්‍රතිච්ඡාදනලක්‍ෂණ අවිද්‍යාව විසින් සත්ලොව වසනලද, විචිකිත්සා ප්‍රමාද හේතුයෙන් ප්‍රකාශයට නො පැමිණෙයි, තෘෂ්ණාව අභිලේපන යයි කියමි, ජාත්‍යාදි වට්ටදුක්ඛය ඒ ලෝවැසිහට මහත් භයහේතුව වේ යයි.
‘කෙනස්සු නිවුතො ලෝකෝ’ යන ප්‍රශ්නයෙහි ‘අවිජ්ජාය නිවුතො ලෝකෝ’ යි බුදුහු (අජිත තෙරුන් ප්‍රශ්නවශයෙන් අසන ලද) පදය (එහි අර්‍ත්‍ථය විසඳන හෙයින්) ශෝධනය කරන සේක, එහෙත් (දැනගන්නට රිසි වූ අර්‍ත්‍ථය නිමාවට නොගිය හෙයින්) ආරම්භය ශෝධනය නො කෙරෙති. ‘කෙනස්සු නප්පකාසති’ යන ප්‍රශ්නයෙහි ‘විවිච්ඡා පමාදා නප්පකාසති’ යී බුදුහු (තදර්‍ත්‍ථවිසර්‍ජනයෙන්) පදය ශෝධනය කෙරෙති, ඊප්සිතාර්‍ත්‍ථය නො නිමියෙන් නො ද ආරම්භශෝධනය කෙරෙති. ‘කිස්සාභිලෙපනං බ්‍රෑසි’ යන ප්‍රශ්නයෙහි ‘ජප්පාභිලෙපනං බ්‍රෑමි’ යී පදය ශෝධනය කෙරෙති, නො ද ආරම්භශෝධනය කෙරෙති. ‘කිංසු තස්ස මහබ්භයං’ යන ප්‍රශ්නයෙහි ‘දුක්ඛමස්ස මහබ්භයං’ යි බුදුහු පදය ශෝධනය කෙරෙති, (දැනගනුකැමැති අර්‍ත්‍ථය ප්‍රබෝධ කළ බැවින්) ආරම්භය ශුද්ධ වී, එයින් වදාළහ, බුදුහු: “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යනාදිය.
3. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි:) තෘෂ්ණාදි ස්‍රෝතස්හු සියලු රූපාදි ආයතනයන්හි ගලාබසිති, ඒ ස්‍රෝතසුන්ගේ ආවරණය කිම? ආරක්‍ෂාව කවරැ’ යි සේයි, ස්‍රෝතසුන්ගේ සංවරය වදාළ මැනැව, කවර දහමෙකින් තෘෂ්ණාදි ස්‍රෝතස්හු වසනු ලැබෙත් දැ? යි.
4. (අජිත’ යී බුදුහු වදාරති:) ලොවැ තෘෂ්ණාදි යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද, විදර්‍ශනාසම්ප්‍රයුක්ත ස්මෘතිය ඒ ස්‍රෝතසුන්ගේ ආරක්‍ෂාව නුයි (ඒ ස්මෘතිය මැ) ස්‍රෝතසුන්ගේ සංවරය යි කියමි, මාර්‍ගප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු (සර්‍වාකාරයෙන්) වසනු ලැබෙත්. (සමුච්ඡේද කරනු ලැබෙතී සේයි.)
“සවන්ති සබ්බධි සෝතා සෝතානං කිං නිවාරණං” යන ප්‍රශ්නයෙහි ‘යානි සෝතානි ලෝකස්මිං සති තෙසං නිවාරණං’ යි බුදුහු පදය ශෝධනය කෙරෙති, නො ද ආරම්භය ශුද්ධ කෙරෙත්. ‘සෝතානං සංවර බ්‍රෑහි කෙන සෝතා පිථියරෙ’ යන ප්‍රශ්නයෙහි ‘සෝතානං සංවර බ්‍රෑමි පඤ්ඤායෙතෙ පිථියරෙ’ යි (දැනගන්නට රිසි වූ අර්‍ත්‍ථය අවබෝධ කරවනලද හෙයින්) ආරම්භය ශුද්ධ යි. එයින් වදාළහ බුදුහු: “යානි සෝතානි ලෝකස්මිං” යනාදිය.
5. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි) නිදුකාණන් වහන්ස, මාර්‍ගප්‍රඥාව ද ස්මෘතිය ද තදවශේෂ නාමරූපය ද යන තෙල සියල්ල කොතැන්හි ලා නිරුද්ධ වේ ද? තෙල කරුණ මා විසින් පුළුවුස්නා ලද සේක් වදාළ මැනැවැ’ යි.
6. අජිතයැ තෙල (කත්‍ථේතං උපරුජ්ඣති’ යි) යම් ප්‍රශ්නයක් පුළුවුස්හි ද, එය තොපට කියමි, යම් තැනෙක ලා නාමයත් රූපයත් නිරවශේෂ කොට නිරුද්ධ වේ ද, (පශ්චිම) විඥානයාගේ නිරෝධය හා මැ (පෙරපසු නො ව) ඒ විඥානනිරෝධයෙහි මැ තෙල නාමරූපය නිරුද්ධ වෙයි. (විඥානනිරෝධය ඉක්මැ නොයෙයි.)
මේ ගාථාදේශනායෙන් ආරම්භ ශුද්ධ වී. එයින් වදාළහ, බුදුහු: “යමෙතං පඤ්හං අපුච්ඡි” යනාදිය. යම් ප්‍රශ්නවිසර්‍ජනයෙකැ දැනගනු කැමැති අර්‍ත්‍ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ වූයේ ද, ඒ ප්‍රශ්නය විසඳනලදුයේ වෙයි, වැළි යම් තැනෙක ආරම්භය අශුද්ධ වූයේ ද, තව ඒ ප්‍රශ්නය නො විසඳනලදුයේ වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහා කාත්‍යායනස්ථවීරයන් වහන්සේ: “විස්සජ්ජිතමහි පඤ්හෙ” යනාදිය.
සෝධනහාරය යොදන ලද්දේ යි.
3. 1. 14.
අධිට්ඨානහාරවිභඞ්ගය
එහි අධිට්ඨානහාරය කවරෙ යැ: “ඒකත්තතාය ධම්මා යෙ’පි ච වේමත්තතාය නිද්දිට්ඨා” ආදි නිද්දේසගාථා යි. එහි යම් ධර්‍ම කෙනෙක් එතත්තතා වේමත්තතා (සාමාන්‍ය විශේෂභාව) වශයෙන් දක්වන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ එසෙයින් ධැරියයුත්තාහ (එහි සාමාන්‍ය විශේෂ කිමැයි විකල්පන නො කටයුත්තාහ.)
‘දුක්ඛ’ යනු ඒකත්‍ව (සාමාන්‍ය)යැ, (ජාත්‍යාදි විශේෂ අපේක්‍ෂා නො කොට කී හෙයිනි.) එහි දුඃඛසත්‍යය කවරෙ යැ: ජාතිය දුක යැ ජරාව දුක යැ ව්‍යාධිය දුක යැ මරණය දුක යැ අප්‍රියයන් හා සම්ප්‍රයෝගය දුක යැ ප්‍රියයන් කෙරෙන් විප්‍රයෝගය දුක යැ රිසිවූ යමක් නො ලබා නම් එද දුක යැ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුක්ඛයහ. රූප දුක් යැ වේදනා දුක් යැ සංඥා දුක් යැ සංස්කාර දුක් යැ විඥානය දුක් යි: මේ දුඃඛසත්‍යයාගේ විශේෂ ප්‍රකාශ කළ හෙයින් වේමත්තතා යි.