1. උද්දේසවාරය
එහි සොළොස් හාරයෝ කවරහ: ආස්වාදාදිය විභාග කිරීම ලක්ෂණ කොට ඇති ‘දේශනා’ හාර යැ, සූත්රයෙහි එන පද ප්රශ්නාදිය විමසීම ලක්ෂණ වූ ‘විචය’ හාර යැ, සූත්රාගත අර්ත්ථව්යඤ්ජනයන්ගේ යුක්ත්යයුක්තිවිචාරණා ලක්ෂණ වූ ‘යුක්ති’ හාර යැ, සූත්රාගත කුශලාකුශලාදි ධර්මයන්ගේ පදට්ඨාන (ආසන්නකාරණ) නිර්ධාණ ලක්ෂණ වූ ‘පදට්ඨාන’ හාර යැ, සමාන ලක්ෂණ ධර්මයන් නඟා දක්වන ‘ලක්ෂණ’ හාර යැ, ව්යඤ්ජනද්වාරයෙන් නිර්වචනාදි විභාවන ලක්ෂණ වූ ‘චතුබ්යුහ’ හාර යැ, සභාගවිෂභාග ධර්මයන් ආවර්තන ලක්ෂණ වූ ‘ආවට්ට’ හාර යැ, සඞ්කිලේසවෝදානධර්මයන් විභාග කිරීම ලක්ෂණ වූ ‘විභක්ති’ හාර යැ, කුශලාකුශලධර්මයන්ට ප්රතිපක්ෂ හෙයින් පරිවර්තන ලක්ෂණ වූ ‘පරිවර්තන’ හාර යැ, පර්ය්යායශබ්ද දැක්වීම ලක්ෂණ කොට ඇති ‘වෙවචන’ හාර යැ, එක් ධර්මාර්ත්ථයක් විවිධ ප්රඥප්තීන් විභාවන ලක්ෂණ වූ ‘පඤ්ඤති’ හාර යැ, ප්රතීත්යසමූත්පාදාදිද්වාරයෙන් සූත්රාර්ත්ථයාගේ අවතරණ ලක්ෂණ වූ ‘ඕතරණ’ හාර යැ, සූත්රාගතපදපදාර්ත්ථාදීන්ගේ ශෝධන ලක්ෂණ වූ ‘ශෝධන’ හාර යැ, සූත්රාගතධර්මයන්ගේ සාමාන්ය විශේෂ නිර්ධාරණ ලක්ෂණ වූ ‘අධිට්ඨාන’ හාර යැ, ධර්මයන්ගේ හේතුප්රත්යය නිර්ධාරණ ලක්ෂණ වූ ‘පරික්ඛාර’ හාර යැ, පදට්ඨානාදිමුඛයෙන් ධර්මයන්ගේ සමාරෝපණ ලක්ෂණ වූ ‘සමාරෝපන’ හාර යැ යන මොහු යි.
ඒ හාරෝදෙදසයාගේ සුඛග්රහණ පිණිස මේ අනුගීති යැ:
1. දේසනා යැ විචය යැ යුක්ති යැ පදට්ඨාන යැ ලක්ඛණ යැ චතුඛ්යූභ යැ ආවට්ට යැ විභත්ති යැ පරිවත්තන යැ.
2. වෙවචන යැ පඤ්ඤත්ති යැ ඕතරණ යැ සෝධන යැ අධිට්ඨාන යැ පරික්ඛාර සමාරෝපන යැ යනු සොළොස් හාරයෝ යි.
3. අර්ත්ථ හෙයින් අසඞ්කීර්ණ වූ තෙල සොළොස් හාරයෝ ප්රකාශ කරන ලදහ. මේ සොළොස් හාරයන්ගේ මැ විස්තර හෙයින් නයවිභාගය වේ යයි.
එහි පඤ්චනය කවරේ යැ: තෘෂ්ණා අවිද්යා දෙකින් සංකිලේසපක්ෂයෙහි ද ශමථ විදර්ශනා දෙකින් වෝදානපක්ෂයෙහි ද සූත්රාර්ත්ථය සිව්සස් සමග යෙදීමෙන් වර්ණනා කරන ‘නන්දියාවට්ට’ නය යැ, අකුශලමූලයෙන් හා කුශලමූලයෙන් සංකිලේස වෝදාන පක්ෂයෙහි සූත්රාර්ත්ථ සිව්සස් සමග යොදන ‘තිපුක්ඛල’ නය යැ, විපර්ය්යාසයන්ගෙන් සංකිලේස පක්ෂයෙහි ද ඉන්ද්රියයන්ගෙන් වෝදාන පක්ෂයෙහි ද සූත්රාර්ත්ථ සිව්සස් සමග යොදන ‘සීහවීක්කීළිත’ නය යැ, අර්ත්ථනයත්රයට දිසාභූත ධර්මයන් විමසන ‘දිසාලෝචන’ නය යැ, දිසාභූත කුශලාකුශලයන්ගේ සමානයන ලක්ෂණ වූ ‘අඞ්කුස’ නය යැ යන මොහු යි.
ඒ නයොදේදසයාගේ මේ අනුගීති යැ:
4. සූත්රාර්ත්ථප්රකාශක වූ පළමුවැනි ‘නන්දියාවට්ට’ නය ද දෙවැනි ‘තිපුක්ඛල’ නය ද තුන් වැනි ‘සීහවීක්කීළිත’ නම් නය ද වෙති.
5. සතරවැනි නයවරය ‘දිසාලෝචන’ යයි කීහු. පස්වැනි නය ‘අඞ්කුස’ නම් වේ. මෙසේ සියලු පඤ්චනය දන්නාලදි.
එහි අටළොස් මූලපදයෝ කවරහ. නවපද කෙනෙක් කුශලයෝ යැ, නවපද කෙනෙක් අකුශලයෝ යි.
එහි අකුශල නවපදයෝ කවරහ: තණ්හා යැ අවිජ්ජා යැ ලෝභ යැ දෝස යැ මෝහ යැ සුභසඤ්ඤා යැ සුඛසඤ්ඤා යැ නිච්චසඤ්ඤා යැ අත්තසඤ්ඤා යැ මේ නවපදයෝ අකුශලයෝ යැ. යම් නවපදයෙකැ සියලු අකුශලපක්ෂය සංග්රහයට සමෝසරණයට යේ ද එබඳු නවපදයෝ යි.
එහි කුශල නවපදයෝ කවරහ: සමථ යැ විපස්සනා යැ අලෝභ යැ අදෝස යැ අමෝහ යැ අසුභසඤ්ඤා යැ දුක්ඛසඤ්ඤා යැ අනිච්චසඤ්ඤා යැ අනත්තසඤ්ඤා යැ මේ නවපදයෝ කුශලයෝ යැ. යම් නවපදයෙකැ හැම කුශලපක්ෂය සංග්රහයට සමෝසරණයට යේ ද එබඳු නවපදයෝ යි.
එහි මේ සංග්රහවචන යැ:
6. තෘෂ්ණා ද අවිද්යා ද ලෝභය ද ද්වේෂය ද එසේ මැ මෝහය ද සතර විපර්ය්යාසයෝ ද යන නව පදයෝ ක්ලේශභූමි වෙති.
7. ශමථය ද විදර්ශනා ද අලෝභාදි තුන් කුශලමූලයෝ ද අශුභසංඥාදි සතර සති පට්ඨානයෝ ද යන නවපදයෝ ශ්රද්ධාදි විමුක්තිපරිපාචනීය ඉන්ද්රියයන්ගේ සමවසරණ ස්ථාන හෙයින් ඉන්ද්රියභූමි නම් වෙත්.
8. ශමථාදි නවපදයෙන් කුශලපක්ෂයෙහි ධර්මයෝ ද තෘෂ්ණා දි නවපදයෙන් අකුශල පක්ෂයෙහි ධර්මයෝ ද යොදනු ලැබෙත්. තෙල අටළොස් පදයෝ මූලපද වෙත් යයි.