9. 4.
ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වෙයි, හේ තෘෂ්ණා සහිත වූයේ නො වෙයි. හේ ප්‍රඥා ඇත්තේ යැ නො ද (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණාකල්ප දෘෂ්ටිකල්ප කරනුයේ වෙයි. කොදෙය්‍යමාණවකය, මෙසේ (තෙපි) කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු පලිගේධ නැතියහු ‘මුනි’ යැ යි දැනගනුව’ යි.
නිරාසසො සො න සො ආසසානො යනු: හෙතෙම තෘෂ්ණා නැත්තේ යැ හෙතෙම තෘෂ්ණා සහිත නො වෙයි. හෙතෙම රූපාලම්බනයන් (ඡන්‍දරාග වශයෙන්) ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි ශබ්දාලම්බනයන් ගන්‍ධාලම්බනයන්...දෘෂ්ට ශ්‍රැතමුත විඥාතව්‍ය ධර්‍මයන් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි නො කැමැති වෙයි ආස්වාද නො කෙරෙයි නො පතයි රුචි නො කෙරෙයි අභිජල්පන නො කෙරේ නුයි ‘නිරාසසො සො න සො ආසසානො’ යනු වේ.
පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී- ‘පඤ්ඤාණවා’ යනු: පණ්ඩිත යැ ප්‍රඥා ඇත්තේ යැ බුද්ධිමත් යැ නැණැත්තේ යැ විමසන නුවණැත්තේ යැ තුලනප්‍රඥා ඇත්තේ යැ. න ච සො පඤ්ඤකප්පී යනු: අෂ්ටසමාපත්තිඥානයෙන් වේව යි පඤ්වාභිඥාඥානයෙන් වේවයි මිථ්‍යාඥානයෙන් වේවයි තෘෂ්ණාකල්පයක් හෝ නො කෙරෙයි දෘෂ්ටිකල්පයක් හෝ නො කෙරෙයි නූපදවයි මොනොවට නූපදවයි නො නිපදවයි වෙසෙසින් නූපදවා නුයි ‘පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී’ යනු වේ.
එවම්පි තෝදෙය්‍ය මුනිං විජාන- ‘මුනිං’ යනු: ‘මොන’ යයි ඥානය කියනු ලැබෙයි...රාගාදි සඞ්ගය හා තෘෂ්ණාදෘෂ්ටිජාලය ඉක්මසිටි හෙතෙම මුනි නම් වේ. එවම්පි තෝදෙය්‍ය මුනිං විජාන යනු: තෝදෙය්‍ය මාණවකය, මෙසෙයින් මුනිහු දැනගනුව පිණිස ගනුව වෙසෙසින් දැනගනුව ප්‍රතිවෙධ කරව යි ‘එවම්පි තෝදෙය්‍ය මුනිං විජාන’ යනු වේ.
අකිඤ්චනං කාමභවෙ අසත්තං-‘අකිඤ්චනං’ යනු: රාගකිඤ්චන (පලිබොධ)යැ දොසකිඤ්චන යැ මොහකිඤ්චන යැ මානකිඤ්චන යැ දිට්ඨිකිඤ්චන යැ කිලෙසකිඤ්චන යැ දුච්චරිතකිඤ්චන යි. යමක්හට මේ කිඤ්චනයෝ ප්‍රහීණ වූව හු ද උසුන්මුල් ඇත්තාහු ද සන්හිඳුණාහු ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යලි උපදනට නොනිසි වූවාහු ද නුවණ ගින්නෙන් දැවුණ හු ද හෙතෙම ‘අකිඤ්චන’ යි කියනු ලැබෙයි. කාමා යනු: උද්දාන විසින් කාම දෙකෙකි: වස්තුකාමයෝ ද ක්ලේශ කාමයෝ දැ යි... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. භවා යනු: කර්‍මභවය ද ප්‍රතිසන්ධි ඇති පුනර්‍භවය දැයි භව දෙකෙකි... මේ ප්‍රතිසන්ධි ඇති පුනර්‍භවය වේ.
අකිඤ්චනං කාමභවෙ අසත්තං යනු: කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු නො ලැගුණු නො ලග්න ලද පලිබොධ නැති (එයින්) නික්මුණු බැහැරවූ මිදුණු පහවූ සංයොග ඇති විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නා වූ අකිඤ්චන පුද්ගලයා නුයි ‘අකිඤ්චනං කාමභවෙ අසත්තං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නිරාසසො සො -පෙ- අකිඤ්චනං කාමභවෙ අසත්තං” යි.
ගාථා පර්‍ය්‍යාවසානය හා සමග...වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමී.
තෝදෙය්‍ය සූත්‍රනිර්දේශය නිමි.