9. 3.
ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද, හේ ප්රඥා ඇතියේ ද නොහොත් (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණා කල්ප දෘෂ්ටි කල්ප කරනුයේ ද, ශාක්යයන් වහන්ස, යම්සේ මම් මුනිහු දැනගන්නෙම් නම් සමන්තචක්ඛු වූ භාග්යවතුන් වහන්ස, එසෙයින් එ කරුණ මට ප්රකාශ කළ මැනැව.
නිරාසසො සො උද ආසසානො යනු: හෙතෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද රූපාලම්බනයන් ප්රාර්ත්ථනා කෙරේ ද, ශබ්දාලම්බනයන්-ගන්ධාලම්බනයන්-රසාලම්බනයන්-ස්ප්රෂ්ටව්යාලම්බනයන්-කුලය-ගණය-ආවාසය-ලාභය-යසස-ප්රශංසාව-සුඛය-සිවුරු-පිඬුවා-සෙනසුන්-ගිලන්පසබෙහෙසත් පිරිකර-කාමධාතුව-රූපධාතුව-අරූපධාතුව-කාමභවය-රූපභවය-අරූපභවය-සංඥාභවය-අසංඥාභවය- නෛවසංඥානාසංඥාභවය- එකවෝකාරභවය- චතුවෝකාරභවය-පඤ්චවෝකාරභවය- අතීතකාලය- අනාගතකාලය- වර්තමානකාලය- දෘෂ්ට ශ්රැත මුත විඥාතව්ය ධර්මයන් ප්රාර්ත්ථනා කෙරේ ද ඉස්නේ ද ආස්වාද කෙරේ ද පතා ද රුස්නේ ද තෘප්ති උපදවා දැ’යි ‘නිරාසසො සො උද ආසසානො’යනු වේ.
පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී- ‘පඤ්ඤාණවා සො’ යනු: පණ්ඩිත වූයේ ප්රඥා ඇතියේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවන (ප්රකට) ප්රඥා ඇත්තේ ධාරණ ප්රඥා ඇත්තේ ද? උද පඤ්ඤකප්පී යනු: නොහොත් අෂ්ටසමාපත්තිඥානයෙන් වේවයි පඤ්චාභිඥා ඥානයෙන් වේවයි මිථ්යා ඥානයෙන් වේවයි තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කෙරේ ද උපදවා ද මොනොවට උපදවා ද නිපදවා ද වෙසෙසින් නිපදවා’දැ යි ‘පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී’ යනු වේ.
මුනිං අහං සක්ක යථා විජඤ්ඤං- ‘සක්ක’ යනු: බුදුහු ශාක්යයහ. ‘සැහැ කුලයෙන් නික්ම පැවිදි වූහ’ යි ද ශාක්යයහ. නොහොත් ආඪ්යයහ මහද්ධන ඇතියහ ධනවත්හ’ යි ද ශාක්යයහ. උන් වහන්සේට මේ ධනයෝ වෙති, හෙ මෙසේ යැ: ශ්රද්ධා ධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්රැතධන යැ ත්යාගධන යැ ප්රඥාධන යැ සතිපට්ඨානධන යැ සම්යක් ප්රධාන ධන යැ ඍද්ධිපාද ධන යැ ඉන්ද්රියධන යැ බලධන යැ බොධ්යඞ්ගධන යැ මාර්ගධන යැ ඵලධන යැ නිර්වාණ ධන යැ යි. ඒ අනේකවිධ වූ ධනරත්නයන්ගෙන් ආඪ්යයහ මහද්ධන ඇතියහ ධනවත්හ’යි ද ශාක්යයහ. නොහොත් ප්රභූහ, පරසන්තානයෙහි වීර්ය්යය උපදනුවහ සමර්ත්ථ සිත් ඇතියහ ශුරයහ වීරයහ වික්රමවත්හ නො බියසුල්ලහ නො තැතිගන්නාසුල්ලහ උද්වෙග රහිතය හ පලා නො යන සුල්ලහ පහවූ බිය හා බිය අරමුණු ඇතියහ පහවූ ලොමුදහගැනුම් ඇත්තාහ යි ද ශාක්යයහ. මුනිං අහං සක්ක යථා විජඤ්ඤං යනු: ශාක්යයන් වහන්ස, යම් සේ මම් දැනගන්නෙම් ද වෙසෙසින් දැන ගන්නෙම් ද ප්රකර්ෂයෙන් දැනගන්නෙම් ද මොනොවට දැනගන්නෙම් ද ප්රතිවෙධ කරන්නෙම් දැ’යි ‘මුනිං අහං සක්ක යථා විජඤ්ඤං’ යනු වේ.
තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු- ‘තං’ යනු: යමක්හු විචාරම් ද යමක්හු ගැන අයදිම් ද යමක්හු ගැන අධ්යෙෂණ කෙරෙම් ද යමක්හු ගැන පහදවම් ද ඔහු. වියාචික්ඛ යනු: වදාළ මැනව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව පහළ කළ මැනැව විභාග කළ මැනැව ප්රකට කළ මැනැව පැවැසුව මැනැව. සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු’ යි සර්වඥතා ඥානය කියනු ලැබෙයි... එයින් තථාගත සමන්තචක්ඛු වේ නුයි ‘තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“නිරාසසො සො -පෙ- තං මෙ වියාචීක්ඛසමන්තචක්ඛූ” යි.