9. 2.
(බුදුහු මෙසේ වදාළහ: තොදෙය්‍යමාණවකය,) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද යමක්හට තෘෂ්ණාව නැද්ද යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහට අන්‍ය විමෝක්‍ෂයෙක් නැති.
යස්මිං කාමා න වසන්ති- ‘යස්මිං’ යනු: අර්‍හත් වූ ක්ෂීණාස්‍රව වූ යම් පුඟුලක්හු කෙරෙහි. කාමා යනු: උද්දාන විසින් කාම දෙකෙකි: වස්තු කාමයෝ ද ක්ලේශ කාමයෝ දැ යි... යස්මිං කාමා න වසන්ති යනු: යම් පුඟුලක්හු කෙරෙහි කාමයෝ නො වෙසෙත් ද නො ලගිත් ද වෙසෙසින් නො වෙසෙත් ද සර්වප්‍රකාරයෙන් නො වෙසෙත් දැ’යි ‘යස්මිං කාමා න වසන්ති’ යනු වේ. තොදෙය්‍යා’ති භගවා යනු...
තණ්හා යස්ස න විජ්ජති- ‘තණ්හා’ යනු: රූප තෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි. යස්ස යනු: අර්‍හත් ක්ෂීණාස්‍රවහට. තණ්හා යස්ස න විජ්ජති යනු: තෘෂ්ණාව යමක්හට නැද්ද නොවේ ද විද්‍යමාන නො වේ ද නො ලැබේ ද ප්‍රහීණ ද මුලුසුන් කරන ලද ද සන්හිඳුණී ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යළි උපදනට නො නිසි වූ ද නුවණ ගින්නෙන් දවන ලද දැ’යි ‘තණ්හා යස්ස න විජ්ජති’ යනු වේ.
කථඞ්කථා ච යො තිණ්ණො- ‘කථඞ්කථා’ යි විචිකිත්සාව කියනු ලැබෙයි: දුඃඛසත්‍යයෙහි සැක යැ... චිත්තයාගේ තද බව යැ මනෝවිලේඛය (සිත හිරිගැසීම) යි. යො යනු: යම් අර්‍හත් ක්ෂීණාස්‍රව කෙනෙක්. කථඞ්කථා ච යො තිණ්ණො යනු: යමෙක් විචිකිත්සාවත් තරණය උත්තරණය නිස්තරණය කෙළේ ද ඉක්මවී ද මොනොවට ඉක්මවී ද වෙසෙසින් ඉක්ම සිටියේ දැ’යි ‘කථඞ්කථා ව යො තිණ්ණො’ යනු වේ.
විමොක්ඛො තස්ස නාපරො යනු: යම් විමොක්ෂයෙකින් විමුක්ත වන්නේ නම් එබඳු අන් විමෝක්‍ෂයෙක් ඔහුට නැති. හේ විමුක්ත යැ ඔහු විසින් විමොක්ෂයෙන් කටයුතු කරන ලද නුයි ‘විමොක්ඛො තස්ස නාපරො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යස්මිං කාමා -පෙ- විමොක්ඛො තස්ස නාපරො” යි.
9. 3.
ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද, හේ ප්‍රඥා ඇතියේ ද නොහොත් (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණා කල්ප දෘෂ්ටි කල්ප කරනුයේ ද, ශාක්‍යයන් වහන්ස, යම්සේ මම් මුනිහු දැනගන්නෙම් නම් සමන්තචක්ඛු වූ භාග්‍යවතුන් වහන්ස, එසෙයින් එ කරුණ මට ප්‍රකාශ කළ මැනැව.
නිරාසසො සො උද ආසසානො යනු: හෙතෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද රූපාලම්බනයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද, ශබ්දාලම්බනයන්-ගන්‍ධාලම්බනයන්-රසාලම්බනයන්-ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන්-කුලය-ගණය-ආවාසය-ලාභය-යසස-ප්‍රශංසාව-සුඛය-සිවුරු-පිඬුවා-සෙනසුන්-ගිලන්පසබෙහෙසත් පිරිකර-කාමධාතුව-රූපධාතුව-අරූපධාතුව-කාමභවය-රූපභවය-අරූපභවය-සංඥාභවය-අසංඥාභවය- නෛවසංඥානාසංඥාභවය- එකවෝකාරභවය- චතුවෝකාරභවය-පඤ්චවෝකාරභවය- අතීතකාලය- අනාගතකාලය- වර්තමානකාලය- දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍ය ධර්‍මයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද ඉස්නේ ද ආස්වාද කෙරේ ද පතා ද රුස්නේ ද තෘප්ති උපදවා දැ’යි ‘නිරාසසො සො උද ආසසානො’යනු වේ.