8. 4.
ස්මෘතිමත් වූ දක්නාලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල අමාමහනිවන (මාර්‍ගඥානයෙන්) දැන (ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවියාහු) සන්හිඳුණාහු ද වෙත් නම් ඔහු හැම කල්හි ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කළාහු වෙත්.
එතදඤ්ඤාය යෙ සතා- ‘එතං’ යනු: අමාමහ නිවන යි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳුවීමෙක් සියලු උපධීන්ගේ හැරපීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධ සඞ්ඛ්‍යාත නිවනෙක් වේ ද එය යි. අඤ්ඤාය යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දැන දැනගෙන තුලන-තීරණ-විභාවන විභූත කොට, ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට. යෙ යනු: අර්‍හත් ක්ෂීණාස්‍රවයෝ. සතා යනු: සතර කරුණෙකින් සිහි ඇත්තාහු: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වැඩූ බැවින් සිහි ඇත්තාහු... ඔහු සිහි ඇත්තාහු යයි කියනු ලැබෙත් නුයි ‘එතදඤ්ඤාය යෙ සතා’ යනු වේ.
දිට්ඨධම්මාභිනිබ්බුතා- ‘දිට්ඨධම්ම’යනු: දක්නාලද දහම් ඇත්තාහු දන්නාලද දහම් ඇත්තාහු තුලනය කරනලද දහම් ඇත්තාහු තීරණය කරන ලද දහම් ඇත්තාහු ප්‍රකට කළ දහම් ඇත්තාහු විභාවන කළ දහම් ඇත්තාහු.‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දුටු දහම් ඇත්තාහු... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් ඒ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දුටු දහම් ඇත්තාහු දත් දහම් ඇත්තාහු, තුලනය කළ දහම් ඇත්තාහු, තීරණය කළ දහම් ඇත්තාහු, ප්‍රකට කළ දහම් ඇත්තාහු, විභාවන කළ දහම් ඇත්තාහු. අභිනිබ්බුතා යනු: රාගය නිවූ බැවින් නිවියාහු, ද්වේෂය නිවූ බැවින් නිවියාහු මෝහය නිවූ බැවින් නිවියාහු, ක්‍රෝධය... බද්ධවෛරය... හැම අකුශලාභිසංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවන ලද වන බැවින් වෙසෙසින් සන්හිඳුවන ලද වන බැවින් නිවන ලද වන බැවින් නිවුණ බැවින් පහ වූ බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්තයහ උපශාන්තයහ ව්‍යූපශාන්තයහ නිර්වෘතයහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යි ‘දිට්ඨධම්මාභිනිබ්බුතා’ යනු වේ.
උපසත්තා ච තෙ සදා- ‘උපසන්තා’ යනු: රාගය සන්හිඳුවනලද වන බැවින් නිවනලද වන බැවින් උපශාන්ත වූවාහු, ද්වේෂය-මෝහය-ක්‍රෝධය-උපනාහය... හැම අකුශලාභිසංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවන ලද වන බැවින් උපශමනය කරන ලද වන බැවින් නිවනලද වන බැවින් නිවුණ බැවින් පහවූ බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්තයහ උපශාන්තයහ ව්‍යූපශාන්තයහ නිර්වෘතයහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යි ‘උපසන්තා’ යනු වේ. තෙ යනු: අර්‍හත් ක්ෂීණාස්‍රවයෝ. සදා යනු: හැම දවස්හි හැම කල්හි (පූර්වාහ්ණාදි) සියලු කල්හි දවසැ දවසැ අවිච්ඡින්න වැ නිරතුරු එක්වන් අව්‍යාකීර්‍ණ වැ පිළිවෙළින් එක් වැ දියරළක් මෙන් අවිරල වැ නො සිඳී එක් වැ පැහැසී පෙර බත පසු බත පෙරයම මැදියම පැසුම්යම අවපසැ පුරපසැ වසන්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදියෙහි පැසුළු වියෙහි නුයි ‘උපසන්තා ච තෙ සදා’ යනු වේ.
තිණ්ණා ලෝකේ විසත්තිකං- ‘විසත්තිකා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘විසත්තිකා’ යනු කවර අරුතින් ‘විසත්තිකා’ නම් වූ යැ යත්: ... පතළා යැ විස්තෘත යැ නුයි විසත්තිකා නමු. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතනලෝකයෙහි. තිණ්ණා ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ලෝකයෙහි ම වෙයි, ලොකයෙහිම වූ තෙල විසත්තිකාව තරණය කළාහු උත්තරණය කළාහු නිස්තරණය කළාහු ඉක්මගියාහු මොනොවට ඉක්මගියාහු වෙසෙසින් ඉක්ම සිටියාහු නුයි ‘තිණ්ණා ලෝකේ විසත්තිකං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එතදඤ්ඤාය යෙ සතා -පෙ- තිණ්ණා ලෝකේ විසත්තිකං” යී.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග...භාග්‍යවතුන් වහන්සේ මාගේ “ශාස්තෲහ මම් ශ්‍රාවකයෙමී.”
හේමක සූත්‍රනිර්දේශය නිමි.