7. 7.
(බුදුහු මෙසේ වදාළහ: නන්දය,) මම් ‘හැම මහණබමුණහු ජාති ජරා විසින් අවුරන ලදහ යි නො කියමි. මේ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටශුද්ධිය ද ශ්රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්රතශුද්ධිය ද හැරපියා හැම කෞතූහල මඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්රව වූවාහු ද එ සත්හු ඒකාන්තයෙන් ඕඝතරණය කළාහ යි කියමි.’
නාහං සබ්බේ සමණබ්රාහ්මණා සෙ නන්දා‘ති භගවා ජාතිජරාය නිවුතා’ති බ්රෑමි යනු: නන්දය, මම් හැම මහණබමුණහු ජාතිජරායෙන් අවුරන ලද්දාහු වළහන ලද්දාහු උඩින් වැසුණාහු යටින් වැසුණාහු පිළිසන් වූවාහු යටිහුරු වූවාහු යයි නො කියමි. යම් මහණ බමුණු කෙනකුන්ට ජාතියත් ජරාමරණයත් ප්රහීණ වූවාහු ද උසුන්මුල් ඇත්තාහු ද හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක වූවාහු ද අනු අභාවය කරන ලද්දාහු ද ආයතිභවයෙහි නූපදනා පියවි ඇත්තාහු ද, එබඳු මහණබමුණු කෙනෙක් ඇත්තාහ යි බ්රෑමි-කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි ප්රකට කෙරෙමි ප්රකාශ කෙරෙම් නුයි ‘නාහං සබ්බේ සමණබ්රාහ්මණා සෙ නන්දා ති භගවා ජාතිජරාය නිවුතා‘ති බ්රෑමි’ යනු වේ.
යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වා‘පි පහාය සබ්බං යනු: යම් කෙනෙක් හැම දෘෂ්ට ශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා, යම් කෙනෙක් හැම ශ්රැතශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම මුතශ්රද්ධීන් හැර.... යම් කෙනෙක් හැම දෘෂ්ටශ්රැතමුතශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම ශීලශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම ව්රතශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම ශීලව්රතශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වා පි පහාය සබ්බං යනු වේ.
අනෙකරූපම්පි පහාය සබ්බං යනු: අනේකවිධ ව්රතකෞතූහල මඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘අනෙකරූපම්පි පහාය සබ්බං’ යනු වේ.
තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්රෑමි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්රෂ්ටව්ය තෘෂ්ණා යැ ධර්මතෘෂ්ණා යි. පරිඤ්ඤාය යනු: ඥාතපරිඥායැ තීරණපරිඥා යැ ප්රහාණපරිඥා යැ යන තුන් පරිඥායෙන් තෘෂ්ණාව පිරිසිඳ දැන.
ඥාතපරිඥා කවරැ යත්: තෘෂ්ණාව ඥාතපරිඥායෙන් දැනගනියි: මේ රූපතෘෂ්ණා යැ මේ ශබ්දතෘෂ්ණා යැ මේ ගන්ධතෘෂ්ණා යැ මේ රසතෘෂ්ණා යැ මේ ස්ප්රෂ්ටව්ය තෘෂ්ණ යැ මේ ධර්මතෘෂ්ණා යැ යි දැනගනියි, දකියි. මෝ තොමෝ ඥාතපරිඥායි.
තීරණපරිඥා කවරැ යත්: මෙසේ දන්නාලද කොට තෘෂ්ණාව තීරණය කෙරෙයි: අනිත්ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ... නිස්සරණ විසින් තීරණය කෙරෙයි. මෝ තොමෝ තීරණ පරිඥා යි.
ප්රහාණ පරිඥා කවරැ යත්: මෙසේ තීරණය කොට තෘෂ්ණාව දුරු කෙරෙයි, බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. මේ වදාරනලද මැ යි භාග්යවතුන් විසින්: “මහණෙනි, තෘෂ්ණාව පිළිබඳ යම් ඡන්දරාගයෙක් වී නම් එය දුරු කරවු, මෙසේ ඒ තෘෂ්ණාව ප්රහීණ වන්නී යැ උසුන්මුල් ඇත්තී තාලවස්තුවක් මෙන් කරන ලද්දී අනභාවය කරනලද්දී මත්තෙහි නූපදනා සැහැවි ඇත්තී යැ” යි. මෝ තොමෝ ‘ප්රහාණ පරිඥා’ යි.
තණ්හං පරිඤ්ඤාය- තෘෂ්ණාව මේ තුන් පරිඥායෙන් දැනගෙන. අනාසවාසෙ- ආශ්රවයෝ සතර දෙනෙකි: කාමාස්රව යැ භවාස්රව යැ දෘෂ්ට්යාස්රව යැ අවිද්යාස්රව යි. යම් කෙනෙකුන්ට මේ ආස්රවයෝ ප්රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් සෙයින් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු ද ඒ අර්හත් ක්ෂීණාස්රවයෝ ‘අනාස්රවහ’ යි කියනු ලැබෙත්.
තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්රෑමි යනු: යම් කෙනෙක් තුමූ තෘෂ්ණාව ත්රිවිධ පරිඥායෙන් දැන අනාස්රව වූවාහු ද ඔහු කාමෝඝය තරණය කළාහු යැ භවොඝය තරණය කළාහු යැ දෘෂ්ට්යොඝය තරණය කළාහු යැ අවිද්යොඝය තරණය කළාහු යැ, සියලු සංසාර පථය තරණය කළාහු යැ උත්තරණය-නිස්තරණය- අතික්රමණය- සමතික්රමණය කළාහු යැ ඉක්මවූවාහු යයි කියමි පවසමි දෙසමි පනවමි පිහිටුවමි විවරණ කෙරෙමි විභාග කෙරෙමි ප්රකට කෙරෙමි ප්රකාශ කෙරෙමි නුයි ‘තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්රෑමි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නාහං සබ්බේ -පෙ- තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්රෑමි” යි.