7. 2.
(බුදුහු මෙසේ වදාළහ: නන්‍දය) මෙ සස්නෙහි (ස්කන්‍ධාදියෙහි) දක්‍ෂයෝ දෘෂ්ටියෙන් ශ්‍රැතියෙන් ඥානයෙන් ‘මුනි’ යැ යි නො කියති. යම් කෙනෙක් කෙළෙස් සෙනඟ නසා (රාගාදි) ව්‍යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් නම් ඔහු ‘මුනීහු’ යැ යි මම් කියමි.
න දිට්ඨියා න සුතියා න ඤාණෙන- ‘න දිට්ඨයා’ යනු: දෘෂ්ට (රූපායතන) ශුද්ධියෙන් නො වෙයි, න සුතියා යනු: ශ්‍රැතශුද්ධියෙන් නො වෙයි, න ඤාණෙන යනු: අෂ්ටසමාපත්ති ඥානයෙනු දු නො වෙයි පඤ්චාභිඥා ඥානයෙනුදු නො වෙයි, මිථ්‍යා ඥානයෙනුදු නො වේ නුයි ‘න දිට්ඨියා න සුතියා න ඤාණෙන’ යනු වේ.
මුනීධ නන්‍ද කුසලා වදන්ති- ‘කුසලා‘ යනු: යම් කෙනෙක් ස්කන්‍ධයන්හි නිපුණයෝ වෙත් ද ධාතූන්හි නිපුණයෝ- ආයතනයන්හි නිපුණයෝ- ප්‍රතීත්‍යසමුත්පාදයෙහි නිපුණයෝ- සතිපට්ඨානයන්හි නිපුණයෝ- සම්‍යක් ප්‍රධානයන්හි නිපුණයෝ- ඍද්ධිපාදයන්හි නිපුණයෝ- ඉන්‍ද්‍රියයන්හි නිපුණයෝ-බලයන්හි නිපුණයෝ-බෝධ්‍යඞ්ගයන්හි නිපුණයෝ-මාර්‍ගයන්හි නිපුණයෝ- ඵලයන්හි නිපුණයෝ- නිර්වාණයන්හි නිපුණයෝ වෙත් ද ඒ නිපුණයෝ දෘෂ්ටශුද්ධියෙන් හෝ ශ්‍රැතශුද්ධියෙන් හෝ අෂ්ටසමාපත්ති ඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ මිථ්‍යා ඥානයෙන් හෝ රූපායතනයෙන් හෝ ශබ්දායතනයෙන් හෝ උපේත වූවහු සමුපේත වූවහු එළඹ සිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්‍ණ වූවහු සමන්‍වාගත වූවහු ‘මුනි’ යයි න වදන්ති- නො කියති නො බෙණෙති ප්‍රකාශ නො කෙරෙති ව්‍යවහාර නො කෙරෙත් නුයි ‘මුනීධ නන්‍ද කුසලා වදන්ති’ යනු වේ.
විසෙනිකත්‍වා අනිසා නිරාසා චරන්ති යෙ තෙ මුනයො’ති බ්‍රෑමි- යනු: ‘සේනා’ යි මරසෙනඟ කියනු ලැබෙයි. කායදුශ්චරිතය මරසෙනඟෙක, වාග්දුශ්චරිතය මරසෙනඟෙක, මනෝදුශ්චරිතය මරසෙනඟෙක, රාගය මරසෙනඟෙක, ද්වේෂය මරසෙනඟෙක, මෝහය මරසෙනඟෙක, ක්‍රෝධය මරසෙනඟෙක, බද්ධවෛරය මරසෙනඟෙක, මකුබවයුගග්‍රාහය- ඊර්‍ෂ්‍යාව- මාත්සර්‍ය්‍යය- මායාව- සඨබව- ස්තම්භය- සාරම්භය- මානය- අතිමානය- මදය- ප්‍රමාදය- හැම කෙලෙස්හු- හැම දුසිරිත්- හැම දරථයෝ හැම පරිදාහයෝ- හැම සන්තාපයෝ- හැම අකුශලාභිසංස්කාරයෝ මරසෙනඟෙකි.
තෙල වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
1. “අන්තකය, වස්තුකාම ක්ලේශකාමයෝ තාගේ පළමු වැනි සේනාවයැ, වනසෙනසුන්හි හෝ අධිකුශලධර්‍මයන්හි උපදනා අරතිය දෙවැනි සේනාව යැයි කියනු ලැබෙයි, සා පවස් දෙක තාගේ තෙවැනි සේනාව යැ, පර්‍ය්‍යෙෂණ තෘෂ්ණාව සතර වැනි සේනාව යැ යි කියනු ලැබේ.
2. ථිනමිද්ධය තාගේ පස්වැනි සේනාව යැ, තැතිගැනීම් සඞ්ඛ්‍යාත බියසුලු බව සවැන්න යැ යි කියනු ලැබෙයි, පර්‍ය්‍යාප්තියෙහි සැකය තාගේ සත් වැනි සේනාව යැ (මානය) මකු බව හා ස්තම්භය තා ගේ අට වැනි සේනාව යි.
3. ලාභය ප්‍රශංසාය සත්කාරය යන මොහු ද මිථ්‍යාවෙන් ලද යශස ද නවවැනි සේනාව වෙයි. ජාත්‍යාදිය හේතු කොට ගෙන ආත්මොත්කර්‍ෂණය ද පරවම්භනය ද දස වැනි සේනාව වේ.
4. අන්තකය, කෘෂ්ණධර්මයෙන් සමන්‍විත වූ තාගේ මේ දශවිධ සේනා තොමෝ මහණ බමුණන්ට අන්තරාය කරනසුලු වෙයි. ශූර නො වූ පුරුෂ තෙමේ ඒ මරසෙනඟ නො දිනයි, යළි කායජීවිත නිරපේක්‍ෂ වූ ශූර තෙමේ ජයග්‍රහණය කොට මඟපල සුවයට පැමිණේ ” යයි.
යම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු දශවිධ මාරසෙනාව ද ප්‍රතිපක්‍ෂ බව කරන සියලු ක්ලේශයෝ ද දිනන ලද්දාහු, පරදවන ලද්දාහු, බිඳින ලද්දාහු, සුණුවිසුණු කරන ලද්දාහු පරාම්මුඛ බවට පමුණුවන ලද්දාහු, වෙත් ද, එයින් කියනු ලැබෙති ‘විසෙනිකත්වා’ යි. අනීඝා යනු: රාගය නීඝ (ව්‍යසන) යැ, ද්වේෂය නීඝ යැ, මෝහය නීඝ යැ, ක්‍රෝධය නීඝ යැ, බද්ධවෛරය නීඝ යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ නීඝයෝ යි. යම් කෙනකුන් විසින් තෙල නීඝයෝ ප්‍රහාණය කරන ලද්දාහු මුලුසුන් කරන ලද්දාහු සන්හිඳුවන ලද්දාහු නිවන ලද්දාහු අභව්‍යොත්පත්තික කරන ලද්දාහු නුවණ ගින්නෙන් දවන ලද්දාහු වෙත් ද, ඔහු ‘අනීඝයෝ’ යි කියනු ලැබෙත්. නිරාසා යනු: ‘අසා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. “යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. යම් කෙනකුන් විසින් තෙල ආශාව තෘෂ්ණාව ප්‍රහාණය කරනලද මුලුසුන් කරන ලද සන්හිඳුවන ලද නිවන ලද යළි උපදනට නො නිසි කරන ලද නුවණ ගින්නෙන් දවනලද වේ ද, ඔහු ‘නිරාසයෝ’ යි කියනු ලැබෙත්. යෙ යනු: අර්‍හත් ක්‍ෂීණාශ්‍රවයෝ යි. විසෙනිකත්‍වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයො’ ති බ්‍රෑමි යනු: යම් කෙනෙක් මරසෙන් පරදවා ව්‍යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් ද වාසය කෙරෙත් ද ඉරියවු පවත්වත් ද වැටෙත් ද පාලනය කෙරෙත් ද යැපෙත් ද යාපනය කෙරෙත් ද ඔහු ලොවැ ‘මුනීහු’ යයි බ්‍රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි පවසම් නුයි ‘විසෙනිකත්වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයො’ ති බ්‍රෑමි’ යි.
එයින් වදාළහ බුදුහු:
“න දිට්ඨියා න සුතියා -පෙ- චරන්ති යෙ තෙ මුනයො’ති බ්‍රෑමි” යි.