7. 1.
(ආයුෂ්මත් නන්දමාණවක මෙසේ විචාරයි:) ‘ලොවැ මුනීහු ඇත්තාහ’යි ජනයෝ කියති. එය කෙසේ ද? (සමාපත්ති-අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද? නොහොත් රූක්ෂ ජීවිතයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද?
සන්ති ලෝකේ මුනයො- ‘සන්ති’ යනු: ඇත්තාහ, විද්යමාන වෙති, ඇති, ලැබෙති. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතනලෝකයෙහි. මුනයො යනු: මුනි නම් ඇති ආජීවකයෝ යැ නිගණ්ඨයෝ යැ ජටිලයෝ යැ තාපසයෝ යැ යි ‘සන්ති ලෝකේ මුනයො’ යනු වේ. ඉච්චායස්මා නන්දො ...
ජනාවදන්ති තයිදං කථංසු- ‘ජනා’ යනු: ක්ෂත්රියයෝ ද බ්රාහ්මණයෝ ද වෛශ්යයෝ ද ශුද්රයෝ ද ගෘහස්ථයෝ ද ප්රව්රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද. වදන්ති යනු: කියති බෙණෙති ප්රකාශ කෙරෙති ව්යවහාර කෙරෙත්. තයිදං කථංසු යනු: මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො යි සංශයපෘච්ඡා යැ විමතිපෘච්ඡා යැ ද්වෛධපෘච්ඡා ය අනෛකාන්තපෘච්ඡා යැ යි ‘ජනාවදන්ති තයිදං කථංසු’ යනු වේ.
ඤාණූපපන්නං නො මුනිං වදන්ති යනු: අෂ්ට සමාපත්තිඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ උපේත වූවහු සමුපේත වූවහු එළඹසිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්ණ වූවහු සමන්වාගත වූවහු මුනි’ යයි වදන්ති-කියත් ද බෙණෙත් ද ප්රකාශ කෙරෙත් ද ව්යවහාර කෙරෙත් දැයි ‘ඤාණූපපන්නං නො මුනිං වදන්ති’ යනු වේ.
උදාහු වෙ ජීවිතෙනුපපන්නං යනු: නොහොත් අනේකවිධ වූ රූක්ෂ ජීවිතයෙන් උපේත වූවහු සමුපේත වූවහු එළඔ සිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්ණ වූවහු සමන්වාගත වූවහු ‘මුනි’ යයි වදන්ති-කියත් ද බෙෙණත් ද ප්රකාශ කෙරෙත් ද ව්යවහාර කෙරෙත් දැ යි ‘උදාහු ජිවිතෙනූපපන්නං යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“සන්ති ලෝකේ මුනයො -පෙ- උදාහු වේ ජිවිතෙනූපපන්නං” යි.
7. 2.
(බුදුහු මෙසේ වදාළහ: නන්දය) මෙ සස්නෙහි (ස්කන්ධාදියෙහි) දක්ෂයෝ දෘෂ්ටියෙන් ශ්රැතියෙන් ඥානයෙන් ‘මුනි’ යැ යි නො කියති. යම් කෙනෙක් කෙළෙස් සෙනඟ නසා (රාගාදි) ව්යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් නම් ඔහු ‘මුනීහු’ යැ යි මම් කියමි.
න දිට්ඨියා න සුතියා න ඤාණෙන- ‘න දිට්ඨයා’ යනු: දෘෂ්ට (රූපායතන) ශුද්ධියෙන් නො වෙයි, න සුතියා යනු: ශ්රැතශුද්ධියෙන් නො වෙයි, න ඤාණෙන යනු: අෂ්ටසමාපත්ති ඥානයෙනු දු නො වෙයි පඤ්චාභිඥා ඥානයෙනුදු නො වෙයි, මිථ්යා ඥානයෙනුදු නො වේ නුයි ‘න දිට්ඨියා න සුතියා න ඤාණෙන’ යනු වේ.
මුනීධ නන්ද කුසලා වදන්ති- ‘කුසලා‘ යනු: යම් කෙනෙක් ස්කන්ධයන්හි නිපුණයෝ වෙත් ද ධාතූන්හි නිපුණයෝ- ආයතනයන්හි නිපුණයෝ- ප්රතීත්යසමුත්පාදයෙහි නිපුණයෝ- සතිපට්ඨානයන්හි නිපුණයෝ- සම්යක් ප්රධානයන්හි නිපුණයෝ- ඍද්ධිපාදයන්හි නිපුණයෝ- ඉන්ද්රියයන්හි නිපුණයෝ-බලයන්හි නිපුණයෝ-බෝධ්යඞ්ගයන්හි නිපුණයෝ-මාර්ගයන්හි නිපුණයෝ- ඵලයන්හි නිපුණයෝ- නිර්වාණයන්හි නිපුණයෝ වෙත් ද ඒ නිපුණයෝ දෘෂ්ටශුද්ධියෙන් හෝ ශ්රැතශුද්ධියෙන් හෝ අෂ්ටසමාපත්ති ඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ මිථ්යා ඥානයෙන් හෝ රූපායතනයෙන් හෝ ශබ්දායතනයෙන් හෝ උපේත වූවහු සමුපේත වූවහු එළඹ සිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්ණ වූවහු සමන්වාගත වූවහු ‘මුනි’ යයි න වදන්ති- නො කියති නො බෙණෙති ප්රකාශ නො කෙරෙති ව්යවහාර නො කෙරෙත් නුයි ‘මුනීධ නන්ද කුසලා වදන්ති’ යනු වේ.
විසෙනිකත්වා අනිසා නිරාසා චරන්ති යෙ තෙ මුනයො’ති බ්රෑමි- යනු: ‘සේනා’ යි මරසෙනඟ කියනු ලැබෙයි. කායදුශ්චරිතය මරසෙනඟෙක, වාග්දුශ්චරිතය මරසෙනඟෙක, මනෝදුශ්චරිතය මරසෙනඟෙක, රාගය මරසෙනඟෙක, ද්වේෂය මරසෙනඟෙක, මෝහය මරසෙනඟෙක, ක්රෝධය මරසෙනඟෙක, බද්ධවෛරය මරසෙනඟෙක, මකුබවයුගග්රාහය- ඊර්ෂ්යාව- මාත්සර්ය්යය- මායාව- සඨබව- ස්තම්භය- සාරම්භය- මානය- අතිමානය- මදය- ප්රමාදය- හැම කෙලෙස්හු- හැම දුසිරිත්- හැම දරථයෝ හැම පරිදාහයෝ- හැම සන්තාපයෝ- හැම අකුශලාභිසංස්කාරයෝ මරසෙනඟෙකි.
තෙල වදාරන ලද මැයි භාග්යවතුන් විසින්:
1. “අන්තකය, වස්තුකාම ක්ලේශකාමයෝ තාගේ පළමු වැනි සේනාවයැ, වනසෙනසුන්හි හෝ අධිකුශලධර්මයන්හි උපදනා අරතිය දෙවැනි සේනාව යැයි කියනු ලැබෙයි, සා පවස් දෙක තාගේ තෙවැනි සේනාව යැ, පර්ය්යෙෂණ තෘෂ්ණාව සතර වැනි සේනාව යැ යි කියනු ලැබේ.
2. ථිනමිද්ධය තාගේ පස්වැනි සේනාව යැ, තැතිගැනීම් සඞ්ඛ්යාත බියසුලු බව සවැන්න යැ යි කියනු ලැබෙයි, පර්ය්යාප්තියෙහි සැකය තාගේ සත් වැනි සේනාව යැ (මානය) මකු බව හා ස්තම්භය තා ගේ අට වැනි සේනාව යි.