6. 5.
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, ඉදින් හෙතෙම එයින් නො පිරිහෙනසුලු වූයේ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටුනේ නම් හෙතෙම එහි මැ දුකින් මිදුණේ ශීතිභාවයට පැමිණියේ එහි මැ සිටුනේ ද එබඳු වූවහුගේ විඥානය එහි මැ පිරිනිවේ ද?
තිට්ඨෙ චෙ සො තත්‍ථ අනානුයායී- ඉඳින් හේ කප් සැටදහසක් මුළුල්ලෙහි සිටිනේ නම්, තත්‍ථ යනු : ආකිඤ්චඤ්ඤායතනයෙහි; අනානුයායී යනු: වියෝගයට නො යනුයේ නො වෙන් වනුයේ නො පහවනුයේ අතුරුදහන් නො වනුයේ නො පිරිහෙනුයේ, නොහොත් නො රැඳෙනුයේ දොම්නස් නො වනුයේ නො මුළා වනුයේ නො කෙලෙසෙනුයේ නුයි ‘තිට්ඨෙ චෙ සො තත්‍ථ අනානුයායී‘ යනු වේ.
පූගම්පි වස්සානං සමන්තචක්ඛු- ‘පූගම්පි වස්සානං‘ යනු: වර්‍ෂයන් පිළිබඳ ගණනසමූහයකුදු බොහෝ වර්‍ෂයන් බොහෝ වර්ෂශතයන් බොහෝ වර්ෂසහස්‍රයන් බොහෝ වර්‍ෂ ශතසහස්‍රයන් බොහෝ කල්පයන් බොහෝ කල්පශතයන් බොහෝ කල්පසහස්‍රයන් බොහෝ කල්පශතසහස්‍රයන් මුළුල්ලෙහි, සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු‘ යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි... එයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු‘ නම් වෙත් නුයි ‘පූගම්පි වස්සානං සමන්ත චක්ඛු‘ යනු වේ.
තත්‍ථෙව සො සීතීසියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථා විධස්ස- හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි මැ ශීතීභාවය (නිවන) ට පැමිණියේ නිත්‍ය වූයේ ධ්‍රැව වූයේ ශාශ්වත වූයේ අවිපරිණාම ස්වභාව වූයේ ශාශ්වතිකයක් සෙයින් එසේ මැ සිටුනේ ද, නොහොත් ඔහුගේ විඥානය ච්‍යුත වන්නේ ද, සිඳෙන්නේ ද, නැසෙන්නේ ද, වැනැසෙන්නේ ද, නො වන්නේ ද? කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ පුනර්‍භව සඞ්ඛ්‍යාත ප්‍රතිසන්‍ධි විඥානය උපදනේ දැයි ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හු ගේ ශාශ්වතය ද උච්ඡේදය විචාරයි. නොහොත් එහි මැ අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නේ ද? නොහොත් ඔහුගේ විඥානය ච්‍යුත වන්නේ ද? කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ යළි ප්‍රතිසන්‍ධි විඥානය උපදනේ දැ යි ආකිඤ්චඤ්ඤායතනයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියහුගේ පරිනිර්‍වාණය ද ප්‍රතිසන්‍ධිය ද විචාරයි. තථාවිධස්ස යනු එබඳු වූවහු ගේ තාදෘශ වූවහු ගේ එසේ සිටියහුගේ තත්ප්‍රකාර වූවහු ගේ තත්ප්‍රතිභාග වූවහුගේ ආකිඤ්චඤ්ඤායතනයට පිළිසඳ විසින් පැමිණියහු ගේ නු යි ‘තත්ථෙව සො සීතිසියාවිමුත්තො චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස‘ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“තිට්ඨෙ චෙ සො තත්‍ථ -පෙ- චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස” යි.
6. 6.
(බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) වාතවේගයෙන් බැහැර කරන (නිවන) ලද ගිනිසිළෙක් යම්සේ අස්තයට යේ ද (නිවේද) (අසෝ දිගට ගියේ යැ යි) ව්‍යවහාරයට නො යේ ද, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුණේ අස්තයට යෙයි, ක්‍ෂත්‍රියාදි ව්‍යවහාරයට නො යෙයි.
අව්චී යථා වාතවෙගෙන ඛිත්තා- ‘අව්චී‘ යි ගිනිසිළ කියනු ලැබෙයි, වාතා යනු: පෙරදිගින් හමන වාත යැ අවරදිගැ වාත යැ උතුරුදිගැ වාත යැ දකුණු දිගැ වාත යැ රජස් සහිත වාත යැ රජස් රහිත වාත යැ ශීත වාත යැ උෂ්ණ වාත යැ අල්ප වාත යැ අධිමාත්‍ර වාත යැ කෘෂ්ණපක්ෂ වාත යැ වේරම්බ වාත යැ පියාපත් වාත යැ සුපර්‍ණ වාත යැ තල්වැට වාත යැ විධූපන වාත යැ යන මොහු යි. වාතවෙගෙන ඛිත්තා-- සලන ලද අතිශයින් සලන ලද බැහැර කරන ලද දුරු කරන ලද නවතන ලද ඉවත් කරන ලද නුයි ‘අව්චීයථා වාතවෙගෙන ඛිත්තා’ යනු වේ. ‘උපසීවා ති භගවා‘ යනු වේ.
අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං- ‘අත්‍ථං පලෙති‘ යනු: අත්‍ථං පලෙති යී යෙයි අස්තයට පැමිණෙයි අස්තයට යෙයි නිරුද්ධ වෙයි සන්හිඳෙයි නිවෙයි. න උපේති සඞ්ඛං- (අසුවල් යෝනියට ගියේ යි) ව්‍යවහාරයට නො පැමිණෙයි උදෙසීමට නො පැමිණෙයි ගිණීමට නො පැමිණෙයි ප්‍රඥප්තියට නො පැමිණෙයි පෙරදිගට හෝ ගියේ යැ අවරදිගට හෝ ගියේ යැ උතුරු දිගට හෝ ගියේ යැ දකුණු දිගට හෝ ගියේ යැ උඩට හෝ ගියේ යැ යටට හෝ ගියේයැ සරසට හෝ ගියේ යැ අනුදිගට හෝ ගියේ යයි යම් හෙයෙකින් ව්‍යවහාරයට යේ ද ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණ නැත් නුයි ‘අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං‘ යනු වේ.
එවං මුනී නාමකායා විමුත්තො- ‘එවං‘ යනු: ඖපම්‍යසම්ප්‍රතිපාදන යැ; මුනි යනු: ‘මොන’යි ඥානය කියනු ලැබෙයි. ...රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්ම වා සිටියේ ඒ ක්‍ෂීණාස්‍රව මුනි නම් වේ. නාමකායා විමුත්තො- ඒ මුනි තෙම පියවින් පළමු මැ රූපකායයෙන් විමුක්ත යැ තදඞ්ගවශයෙන් ඉක්මවීමෙන් විෂ්කම්භණ ප්‍රහාණයෙන් ප්‍රහීණ යැ ඒ මුනිහු විසින් භවාන්තයට පැමිණ සතර ආර්‍ය්‍ය මාර්‍ගයෝ ලද්දාහු වෙයි. සතර ආර්‍ය්‍යමාර්ගයන් ලත් බැවින් නාම කය ද රූප කය ද පරිඥාත වෙයි. නාම කයින් ද රූප කයින් ද අත්‍යන්ත කොට අනුපාදා විමොක්ෂයෙන් මිදුණේ වෙසෙසින් මිදුණේ මොනොවට මිදුණේ නුයි ‘එවං මුනී නාමකායා විමුත්තො’ යනු වේ.