6. 4.
(බුදුහු මෙසේ වදාළහ:) උපසීව මාණවකය, යමෙක් සියලු කාමයන්හි වීතරාග වූයේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම (එයින්) නොපිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි (කප් සැට දහසක්) සිටුනේ යි.
සබ්බෙසු කාමෙසු යො වීතරාගො- ‘සබ්බෙසු’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිඃශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි, තෙල ‘සබ්බෙසු’ යනු. කාමෙසු- ‘කාමං’ යනු: උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ ද ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. ‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො- යමෙක් සියලු කාමයන්හි විෂ්කම්භණ විසින් වීතරාග වූයේ... දුරලනලද රාග ඇතියේ නුයි ‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො’ යනු වේ.
උපසීවා’ති භගවා- ‘උපසීව’යි බුදුහු එ බමුණු නමින් අමතන සේක. භගවා යනු: තෙල ගෞරවාධි වචන යැ ... මේ ‘භගවා’ යනු අර්‍හත් ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්ති වී නුයි ‘උපසීවා’ති භගවා’ යනු වේ.
ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්‍වමඤ්ඤං- යට ෂට් සමාපත්තීන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට ඉක්මවා මොනොවට ඉක්මවා ව්‍යතික්‍රමණය කොට ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඇසුරු කෙළේ වෙසෙසින් ඇසුරු කෙළේ ඇලුණේ පැමිණියේ මොනොවට පැමිණියේ බැසගත්තේ අධිමුක්ත වූයේ නුයි ‘ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වමඤ්ඤං’ යනු වේ.
සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො- ‘සඤ්ඤාවිමොක්ඛෙ’ යි සත් සංඥා සමාපත්තීහු කියනු ලැබෙත්. යම් පමණ සංඥා සමාපත්තීහු වෙත් ද, ඔවුනතුරෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විමෝක්‍ෂය අග්‍ර වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූයේ ද පාමොක් වූයේ ද උතුම් වූයේ ද ප්‍රවර වූයේ ද වෙයි. පරමෙ - අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රධාන වූ උත්තම වූ ප්‍රවර වූ (සංඥාවිමෝක්‍ෂයෙහි) අධිමුක්තිවිමොක්ෂයෙන් අධිමුක්ත වූයේ එහි ඇලුණේ එහි හැසිරෙනුයේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ එයට නැමුණේ එයට නතු වූයේ එයට නැඹුරු වූයේ එය අධිමුක්ති කොට ඇතියේ එය අධිපති කොට ඇත්තේ නුයි ‘සඤ්ඤාවිමාක්ඛෙ පරමෙධිමුත්තො’ යනු වේ.
තිට්ඨෙය්‍ය සො තත්‍ථ අනානුයායී- ‘තිට්ඨෙය්‍ය’ යනු: සැටදහසක් කප් මුළුල්ලෙහි සිටුනේ යැ. තත්‍ථ යනු: ආකිඤ්චඤ්ඤායතනයෙහි, අනානුයායී යනු: වියෝගයට නො යනුයේ නො වෙන් වනුයේ නො පහවනුයේ අතුරුදහන් නො වනුයේ නො පිරිහෙනුයේ, නොහොත් නො රැඳෙනුයේ දොම්නස් නො වනුයේ නො මුළා වනුයේ නො කෙලෙසෙනුයේ නුයි ‘තිට්ඨෙය්‍ය සො තත්‍ථ අනානුයායී’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සබ්බෙසු කාමෙසු -පෙ- තිට්ඨෙය්‍ය සො තත්‍ථ අනානුයායී” යි