6. 1.
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) ශාක්‍යමුනින්ද්‍රයන් වහන්ස, එකලා වූ මම් (කිසි පුඟුලක්හු හෝ දහමක් හෝ) ඇසුරු නොකෙළෙම් මහත් වූ (කාමාදි) ඕඝය තරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, යම් පුඟුලක්හු හෝ දහමක් ඇසුරු කෙළෙම් මේ කෙලෙස්වතුරු තරණය කෙරෙම් නම් ඒ නිඃශ්‍රය වදාළ මැනැවි.
ඒකෝ අහං සක්ක මහන්තමොඝං- ‘ඒකෝ’ යනු: යම් පුද්ගලයකු නිසා හෝ දහමක් නිසා හෝ මහත් වූ කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය, තරණය කෙරෙම් ද උත්තරණය කෙරෙම් ද ප්‍රතරණය කෙරෙම් ද මොනොවට ඉක්මවම් ද ඉක්ම සිටුනෙම් ද (එබඳු වූ) දෙවැනි පුද්ගලයෙක් හෝ මට නැත, දෙවැනි දහමෙක් හෝ මට නැත් නු යි ‘ඒකෝ’ යනු වේ. සක්ක යනු: ශාක්‍යයහ, බුදුහු ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ. නොහොත් (ප්‍රඥා ධනයෙන්) ආඪ්‍යයහ මහත් වූ ප්‍රඥාධන ඇතියහ ප්‍රඥාධනයෙන් ධනවත්හ නුයි ද ශාක්‍යයහ. උන්වහන්සේට මේ ධනයෝ වෙති. ඒ මෙසේ යැ: ශ්‍රද්ධාධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්‍රැතධන යැ ත්‍යාගධන යැ ප්‍රඥාධන යැ සතිපට්ඨානධන යැ... නිර්වාණධන යැ යි. මේ නොයෙක් ධනරත්නයන්ගෙන් ආඪ්‍යයහ, මහත්ධනයහ, ධනවත්හ යි ද ශාක්‍යයහ. නොහොත් ශාක්‍යයහ ප්‍රභූ වූහ (පර සතන්හි) වැර දනවනුවහ සමත්සිත් ඇතියහ ශූරයහ පරාක්‍රමවත්හ වික්‍රමවත්හ නො බිය සුල්ලහ නො සැලෙන සුල්ලහ නො තැතිගන්නාසුල්ලහ නො පලායන සුල්ලහ ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇතියහ පහ වූ ලොමුදහ ඇතියහ යි ද ශාක්‍ය නුයි ‘ඒකෝ අහං සක්ක මහන්තමොඝං’ යනු වේ.
ඉච්චායස්මා උපසීවො- ‘ඉච්චා’ යනු: පදසන්ධි යැ... ආයස්මා යනු ප්‍රියවචන යැ... උපසීව යනු: එ බමුණුගේ නාම යැ.....අභිලාප නුයි ‘ඉච්චා යස්මා උපසීවො’ යනු වේ.
අනිස්සිතො නො විසහාමි තාරිතුං- ‘අනිස්සිතො’ යනු: පුඟුලකු හෝ ඇසිරි නො කෙළෙම් දහමක් හෝ ඇසිරි නො කෙළෙම් මහත් වූ කාමෝඝය භවොඝය දෘෂ්ටිඔඝය අවිද්‍යාඔඝය තරණය කරන්නට උත්තරණය කරන්නට ප්‍රතරණය කරන්නට මැනැවින් ඉක්මවන්නට ඉක්ම සිටුනට නො හැක්කෙමි උත්සාහ නො කෙරෙමි නො සමත්මි ප්‍රතිබල නොවෙම් නුයි ‘අනිස්සිතො නො විසහාමි තාරිතුං’ යනු වේ.
ආරම්මණං බ්‍රෑහි සමන්තචක්ඛු- ‘ආරම්මණං’ යනු: අරමුණ නිඃශ්‍රය උපනිඃශ්‍රය, බ්‍රෑහි යනු: කිව මැනැවැ දෙසුව මැනැවැ පැනැවුව මැනැවැ තැබුව මැනැවැ විවර කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ පැවැසුව මැනැවි. සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි, බුදුහු ඒ සර්‍වඥතාඥානයෙන් උපෙතයහ සමුපෙතයහ යුක්තයහ සංයුක්තයහ නො වෙන් වූහ පරිපූර්‍ණයහ සමත්වාගතහ.
ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි මෙකලැ හෝ පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි අතීත වූ නො දත් කිසිවක් නැත, අනාගත වූ නො දැනෙන කිසි (ධර්මජාතයකු) දු නැති, දතයුතු වූ යම් ධර්මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ, එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ” යි.
“ආරම්මණං බ්‍රෑහි සමන්තචක්ඛු” යනු වේ.
යං නිස්සිතො ඔඝමිමං තරෙය්‍යං- ‘යං නිස්සිතො’ යනු: යම් පුඟුලකු හෝ ඇසිරි කෙළෙම් දහමක් හෝ ඇසිරි කෙළෙම් මහත් වූ කාමෝඝය භවොඝය දෘෂ්ටිඔඝය අවිද්‍යාඔඝය තරණය කරන්නෙම් උත්තරණය කරන්නෙම් ප්‍රතරණය කරන්නෙම් මැනැවින් ඉක්මවන්නෙම් ඉක්ම සිටුනෙම් නම් නුයි ‘යං නිස්සිතො ඔඝමිමං තරෙය්‍යං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“ඒකෝ අහං සක්ක -පෙ- යං නිස්සිතො ඔඝමිමං තරෙය්‍යං” යි.
6. 2.
(බුදුහු මෙසේ වදාළහ:) උපසීව මාණවකය, සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (අනිත්‍යාදී) විසින් දකිමින් ‘නත්ථිකිඤ්චි’ යි පැවැති ඒ සමවත ඇසුරු කොට චතුරෝඝය තරණය කර, වස්තු කාමක්ලෙශකාම හැරපියා කථඞ්කථා සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා-එ බමුණු පියවින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිලාභී වූයේ විද්‍යමාන වූ මැ නිඃශ්‍රය ‘මේ මාගේ නිඃශ්‍රය’යි නො දනී. බුදුහු ඔහුට නිඃශ්‍රය ද මත්තෙහි සසරින් නික්ම යන මඟ ද පවසන සේක. සිහි ඇතියේ ආකිඤ්චඤ්ඤායතන සමවතට සමවැද එයින් නැඟී සිට එ සමවත්හි උපන් චිත්තචෛතසිකධර්මයන් අනිත්‍ය විසින් (නුවණින්) බලමින් දුක් විසින්-රෝග විසින්- ගඬ විසින්- ශල්‍ය විසින්- අඝ විසින්- අබාධ විසින් පර විසින්- පලෝක (බිඳෙන) විසින්- ව්‍යසන විසින්- උපධ්‍රව විසින්- භය විසින්- උපසර්‍ග විසින්- චඤ්චල විසින්- බිඳෙනසුලු හෙයින්- අධ්‍රැව හෙයින්- අත්‍රාණ හෙයින්- අලෙණ හෙයින්-අසරණ හෙයින්-