5. 7.
(ආයුෂ්මත් ධෝතක මෙසේ කී යැ:) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැනැ ලෙ වැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම් මම මුඹ වහන්සේ ගේ ඒ ධර්මද්‍යොතක වචනය රුස්මි, උත්තම වූ ඒ ශාන්තිය ද රුස්මි.
තඤ්වාහං අභිනන්දාමි- ‘තං’ යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනාව තුස්මි අභිනන්‍දනය කෙරෙමි සතුටු වෙමි අනුමෝදන් වෙමි ඉස්නෙමි ඉවසමි පතමි කැමැති වෙමි අභිජල්පනය කෙරෙම් නුයි ‘තඤ්වාහං අභිනන්දාමි’ යනු වේ.
මහේසී සන්තිමුත්තමං - ‘මහේසී’ යනු: බුදුහු මහර්ෂීහ: මහත් වූ ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළහ’ යි මහර්ෂීහ, මහත් වූ සමාධිස්කන්‍ධය... දේවාතිදේවයෝ කොහි යැ නරශ්‍රෙෂ්ඨයෝ කොහි යැ’ යි මහර්ෂීහ. සන්තිමුත්තමං - ‘සන්ති’ යි අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ හැරපීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘උත්තමං’ යනු: අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශ්‍රෙෂ්ඨ යැ ප්‍රමුඛ යැ උත්තම යැ ප්‍රවර යැ යි ‘මහේසී සන්තිමුත්තමං’ යනු වේ.
යං විදිත්‍වා සතෝ චරං යනු: යමක් දැනැගෙන... ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට, ‘හැම සංස්කාරයෝ දුඃඛහ’ යි - ‘හැම ධර්‍මයෝ අනාත්මහ’ යි... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ ද එ හැම නිරෝධස්වභාවය ඇතැ’ යි දැනැ ගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ...හෙතෙම ‘සතෝ’ යි කියනු ලැබෙයි, චරං යනු: සරනුයේ... යාපනය කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලෝකේ විසත්තිකං යනු: ‘විසත්තිකා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ වේ ද යත්:... පැතිරෙන ලද යැ විස්තෘත නුයි විසත්තිකා නම. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතන ලෝකයෙහි. තරෙ ලෝකේ විසත්තිකා යනු: තෙල විසත්තිකාව ලොකෙයෙහි මැ වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇතියේ තරණය උත්තරණය කරන්නේ යැ... ඉක්ම සිටුනේ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“තඤ්වාහං අභිනන්දාමි -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යී.
5. 8.
(බුදුහු මෙසේ වදාළහ: “ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍ම ජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග (ලග්නා තැන) යැ යි දැනැ කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව” යි.
යං කිඤ්චි සම්පජානාසි යනු: යම් කිසි ධර්‍මජාතයක් දන්නවු නම් නියතින් දන්නවු නම් නොයෙක් අයුරින් දන්නවු නම් ඒ ඒ කරුණින් දන්නවු නම් ප්‍රතිවෙධ කරන්නවු නම් නුයි ‘යං කිඤ්චි සම්පජානාසි’යනු වේ. ධොතකා’ති භගවා- ‘ධෝතක’ යි බුදුහු එ බමුණු නමින් අමතති, භගවා යනු: තෙල ගෞරව නාමයෙකි... මේ ‘භගවා’ යනු සාත්ෂාත් ප්‍රඥප්තියෙකි යි ‘ධොතකා’ ති භගවා’ යනු වේ.
උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ- ‘උද්ධං’ යනු: අනාගත යැ අධෝ යනු: අතීත යැ තිරියඤ්චාපි මජ්ඣෙ යනු වර්‍තමාන යි, ‘උද්ධං’ යනු දිව්‍ය ලෝක යැ ‘අධෝ’යනු අපාය ලෝක යැ ‘තිරියඤ්වාපි මජ්ඣෙ’ යනු මනුෂ්‍යලොක යි, නොහොත් ‘උද්ධං’ යනු: කුශලධර්‍මයෝ යැ ‘අධෝ’ යනු: අකුශලධර්‍මයෝ යැ ‘තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු අව්‍යාකෘත ධර්‍මයෝ යි.‘උද්ධං’ යනු අරූපධාතු යැ ‘අධෝ’ යනු කාමධාතු යැ ‘තිරියඤ්චාපි මජ්ඣෙ’ යනු රූප ධාතු යි. ‘උද්ධං’ යනු සුඛවේදනා යැ ‘අධෝ’ යනු දුඃඛවේදනා යැ ‘තිරියඤ්චාපි මජ්ඣෙ’ යනු අදුක්ඛමසුඛවෙදනා යි, ‘උද්ධං’ යනු පාදතලයෙන් උඩ යැ ‘අධෝ’ යනු කෙසගින් යට යැ ‘තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු දෙමැද නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.
එතං විදිත්‍වා සඞේගාති’ ලෝකේ යනු: තෙල සඞ්ග යැ තෙල ලැග්ම යැ තෙල බැඳුම යැ තෙල පළිබෝධ යැයි දැනැ දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි ‘එතං විදිත්‍වා සඞ්ගො’ති ලෝකේ’ යනු වේ.
භවාභවාය මාකාසි තණ්හං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්ද තෘෂ්ණා යැ...ධර්‍මතෘෂ්ණා යි, භවාභවාය යනු: පුනපුනා භවයට කර්මභවයට විපාකභවයට, කාමධාතුයෙහි කර්මභවයට කාමධාතුයෙහි පුනර්‍භවයට රූපධාතුයෙහි කර්මභවයට රූපධාතුයෙහි පුනර්‍භවයට අරූපධාතුයෙහි කර්මභවයට අරූපධාතුයෙහි පුනර්‍භවයට, පුනපුනාභවයට පුනපුනාගතියට පුනපුනාඋපතට පුනපුනා පිළිසඳට පුනපුනා ආත්ම භාවයන්ගේ නිපැත්මට තෘෂ්ණා නහමක් කරව නහමක් උපදව නහමක් වෙසෙසින් නූපදව නො නිපදව වෙසෙසින් නො නිපදව දුරු කර බැහැරැ කර විගතාන්ත කර අනභාවයට පමුණුව’යි ‘භවාභවාය මාකාසි තණ්හං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යං කිඤ්චි සම්පජානාසි -පෙ- භවාභවාය මාකාසි තණ්හං” යි.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග .... වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමි’යි.
පස්වැනි ධෝතක සූත්‍ර නිර්දේශ යි.