5. 8.
(බුදුහු මෙසේ වදාළහ: “ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්ම ජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග (ලග්නා තැන) යැ යි දැනැ කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව” යි.
යං කිඤ්චි සම්පජානාසි යනු: යම් කිසි ධර්මජාතයක් දන්නවු නම් නියතින් දන්නවු නම් නොයෙක් අයුරින් දන්නවු නම් ඒ ඒ කරුණින් දන්නවු නම් ප්රතිවෙධ කරන්නවු නම් නුයි ‘යං කිඤ්චි සම්පජානාසි’යනු වේ. ධොතකා’ති භගවා- ‘ධෝතක’ යි බුදුහු එ බමුණු නමින් අමතති, භගවා යනු: තෙල ගෞරව නාමයෙකි... මේ ‘භගවා’ යනු සාත්ෂාත් ප්රඥප්තියෙකි යි ‘ධොතකා’ ති භගවා’ යනු වේ.
උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ- ‘උද්ධං’ යනු: අනාගත යැ අධෝ යනු: අතීත යැ තිරියඤ්චාපි මජ්ඣෙ යනු වර්තමාන යි, ‘උද්ධං’ යනු දිව්ය ලෝක යැ ‘අධෝ’යනු අපාය ලෝක යැ ‘තිරියඤ්වාපි මජ්ඣෙ’ යනු මනුෂ්යලොක යි, නොහොත් ‘උද්ධං’ යනු: කුශලධර්මයෝ යැ ‘අධෝ’ යනු: අකුශලධර්මයෝ යැ ‘තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු අව්යාකෘත ධර්මයෝ යි.‘උද්ධං’ යනු අරූපධාතු යැ ‘අධෝ’ යනු කාමධාතු යැ ‘තිරියඤ්චාපි මජ්ඣෙ’ යනු රූප ධාතු යි. ‘උද්ධං’ යනු සුඛවේදනා යැ ‘අධෝ’ යනු දුඃඛවේදනා යැ ‘තිරියඤ්චාපි මජ්ඣෙ’ යනු අදුක්ඛමසුඛවෙදනා යි, ‘උද්ධං’ යනු පාදතලයෙන් උඩ යැ ‘අධෝ’ යනු කෙසගින් යට යැ ‘තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු දෙමැද නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.
එතං විදිත්වා සඞේගාති’ ලෝකේ යනු: තෙල සඞ්ග යැ තෙල ලැග්ම යැ තෙල බැඳුම යැ තෙල පළිබෝධ යැයි දැනැ දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්රකට කොට නුයි ‘එතං විදිත්වා සඞ්ගො’ති ලෝකේ’ යනු වේ.
භවාභවාය මාකාසි තණ්හං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්ද තෘෂ්ණා යැ...ධර්මතෘෂ්ණා යි, භවාභවාය යනු: පුනපුනා භවයට කර්මභවයට විපාකභවයට, කාමධාතුයෙහි කර්මභවයට කාමධාතුයෙහි පුනර්භවයට රූපධාතුයෙහි කර්මභවයට රූපධාතුයෙහි පුනර්භවයට අරූපධාතුයෙහි කර්මභවයට අරූපධාතුයෙහි පුනර්භවයට, පුනපුනාභවයට පුනපුනාගතියට පුනපුනාඋපතට පුනපුනා පිළිසඳට පුනපුනා ආත්ම භාවයන්ගේ නිපැත්මට තෘෂ්ණා නහමක් කරව නහමක් උපදව නහමක් වෙසෙසින් නූපදව නො නිපදව වෙසෙසින් නො නිපදව දුරු කර බැහැරැ කර විගතාන්ත කර අනභාවයට පමුණුව’යි ‘භවාභවාය මාකාසි තණ්හං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යං කිඤ්චි සම්පජානාසි -පෙ- භවාභවාය මාකාසි තණ්හං” යි.
ගාථා පර්ය්යවසානය හා සමග .... වහන්ස, භාග්යවත්හු මාගේ ශාස්තෲහ, මම් ශ්රාවකයෙමි’යි.
පස්වැනි ධෝතක සූත්ර නිර්දේශ යි.
6. උපසීව සූත්ර නිර්දෙශය
6. 1.
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) ශාක්යමුනින්ද්රයන් වහන්ස, එකලා වූ මම් (කිසි පුඟුලක්හු හෝ දහමක් හෝ) ඇසුරු නොකෙළෙම් මහත් වූ (කාමාදි) ඕඝය තරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්වඥයන් වහන්ස, යම් පුඟුලක්හු හෝ දහමක් ඇසුරු කෙළෙම් මේ කෙලෙස්වතුරු තරණය කෙරෙම් නම් ඒ නිඃශ්රය වදාළ මැනැවි.
ඒකෝ අහං සක්ක මහන්තමොඝං- ‘ඒකෝ’ යනු: යම් පුද්ගලයකු නිසා හෝ දහමක් නිසා හෝ මහත් වූ කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය, තරණය කෙරෙම් ද උත්තරණය කෙරෙම් ද ප්රතරණය කෙරෙම් ද මොනොවට ඉක්මවම් ද ඉක්ම සිටුනෙම් ද (එබඳු වූ) දෙවැනි පුද්ගලයෙක් හෝ මට නැත, දෙවැනි දහමෙක් හෝ මට නැත් නු යි ‘ඒකෝ’ යනු වේ. සක්ක යනු: ශාක්යයහ, බුදුහු ශාක්යකුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්යයහ. නොහොත් (ප්රඥා ධනයෙන්) ආඪ්යයහ මහත් වූ ප්රඥාධන ඇතියහ ප්රඥාධනයෙන් ධනවත්හ නුයි ද ශාක්යයහ. උන්වහන්සේට මේ ධනයෝ වෙති. ඒ මෙසේ යැ: ශ්රද්ධාධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්රැතධන යැ ත්යාගධන යැ ප්රඥාධන යැ සතිපට්ඨානධන යැ... නිර්වාණධන යැ යි. මේ නොයෙක් ධනරත්නයන්ගෙන් ආඪ්යයහ, මහත්ධනයහ, ධනවත්හ යි ද ශාක්යයහ. නොහොත් ශාක්යයහ ප්රභූ වූහ (පර සතන්හි) වැර දනවනුවහ සමත්සිත් ඇතියහ ශූරයහ පරාක්රමවත්හ වික්රමවත්හ නො බිය සුල්ලහ නො සැලෙන සුල්ලහ නො තැතිගන්නාසුල්ලහ නො පලායන සුල්ලහ ප්රහීණ වූ බිය හා බිය අරමුණු ඇතියහ පහ වූ ලොමුදහ ඇතියහ යි ද ශාක්ය නුයි ‘ඒකෝ අහං සක්ක මහන්තමොඝං’ යනු වේ.
ඉච්චායස්මා උපසීවො- ‘ඉච්චා’ යනු: පදසන්ධි යැ... ආයස්මා යනු ප්රියවචන යැ... උපසීව යනු: එ බමුණුගේ නාම යැ.....අභිලාප නුයි ‘ඉච්චා යස්මා උපසීවො’ යනු වේ.
අනිස්සිතො නො විසහාමි තාරිතුං- ‘අනිස්සිතො’ යනු: පුඟුලකු හෝ ඇසිරි නො කෙළෙම් දහමක් හෝ ඇසිරි නො කෙළෙම් මහත් වූ කාමෝඝය භවොඝය දෘෂ්ටිඔඝය අවිද්යාඔඝය තරණය කරන්නට උත්තරණය කරන්නට ප්රතරණය කරන්නට මැනැවින් ඉක්මවන්නට ඉක්ම සිටුනට නො හැක්කෙමි උත්සාහ නො කෙරෙමි නො සමත්මි ප්රතිබල නොවෙම් නුයි ‘අනිස්සිතො නො විසහාමි තාරිතුං’ යනු වේ.