5. 6.
(බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්මප්‍රත්‍යක්ෂ වූ යම් දහමක් දැනැ ලො වැ විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණ ධර්‍මය (ද නිර්‍වාණ ගාමිනීප්‍රතිපද් ධර්‍මය ද)තොපට ප්‍රකාශ කරන්නෙමි.
කිත්තයිස්සාමි තෙ සන්තිං- රාගයාගේ සන්හිඳීම ද්වේෂයාගේ සන්හිඳීම මෝහයාගේ සන්හිඳීම ක්‍රෝධයාගේ සන්හිඳීම උපනාහ-මක්ඛ පළාස-ඊර්‍ෂ්‍යා-මාත්සර්‍ය්‍ය-මායා-සාඨෙය්‍ය-ථම්භ-සාරම්භ-මාන-අතිමාන-මද-ප්‍රමාදයාගේ හැම කෙලෙස්-හැම දුශ්චරිත-හැම දරථ-හැම පරිදාහ හැම සතැවුලි-හැම අකුශලාභිසංස්කාරයන්ගේ සන්හිඳීම උපශාන්තිය ව්‍යූපශාන්තිය නිර්‍වෘතිය ප්‍රතිප්‍රශ්‍රබ්ධිය කීර්‍තනය කෙරෙමි ප්‍රකීර්තනය කෙරෙමි පවසමි දෙසමි පනවමි තබමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘කිත්තයිස්සාමි තෙ සන්තිං’ යනු වේ.
ධොතකාති භගවා-‘ධෝතක’යනු: බුදුහු එ බමුණු නමින් අමතති. භගවා යනු: ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියෙක් නුයි ‘ධොතකාති භගවා’යනු වේ.
දිට්ඨෙ ධම්මේ අනීතිහං- ‘දිට්ඨෙ ධම්මේ’ යනු: දක්නා ලද (දුඃඛාදි) ධර්‍මයෙහි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්‍රකට කරන ලද දහම්හි විභාවනය කරන ලද දහම්හි හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දක්නා ලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්‍රකට කරන ලද දහම්හි විභාවනය කරන ලද දහම්හි නුයි මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ.
නොහොත් දුක දුටු කල්හි දුක කියමි යි සමුදය දුටු කල්හි සමුදය කියමි යි නිරෝධය දුටු කල්හි නිරෝධය කියමි යි මාර්‍ගය දුටු කල්හි මාර්‍ගය කියමි’ මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් තමා විසින් දැක්ක යුතු යැ, කල් නොයවා පල දෙන සුලු යැ, ‘එව බලව’ යි කියනට නිසි යැ, සිත්හි ලා එළවිය යුතු යැ නුවණැතියන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. අනීතිහං යනු: මෙසේ මෙසේ යැයි නො වැ මෙසේ වී ලැ’යි නො වැ පරම්පරාකථායෙන් නො වැ පෙළ හා සම යැයි ගැන්මෙන් නො වැ තර්කහෙතුයෙන් නො වැ නය හේතුයෙන් නො වැ ආකාර සැලැකීමෙන් නො වැ අප ගත් ලබ්ධිය හා සම යැ යි සැලකීමෙන් නො වැ තෙමේ තමා විසින් ස්වලක්ෂණාවබෝධයෙන් දන්නා ලද ආත්මප්‍රත්‍යක්ෂ ධර්‍ම යැ. එය කියම් නු යි ‘දිට්ඨෙ ධම්මේ අනීතිහං’ යනු වේ.
යං විදිත්‍වා සතෝ චරං යනු: යම් දහමක් විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ දුක්හ’ යි - ‘හැම ධර්‍මයෝ අනිත්‍යහ’ යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’ යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හෙතෙම ‘සිහි ඇතියේ’ යි කියනු ලැබේ. චරං යනු: සරනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ පවත්නේ පාලනය කරනුයේ යැපෙනුයේ යැපීම කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලෝකේ විසත්තිකං යනු: ‘විසත්තිකා’යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්...අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ වේ ද?යත්:... පැතිරෙන ලද යැ විස්තෘත නුයි ‘විසත්තිකා’නම. ලෝකේ යනු: අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි යැ.
තරෙ ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා (තෘෂ්ණා) ව ලෝකයෙහි මැ වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇතියේ (ප්‍රථම මාර්‍ගයෙන්) තරණය කරන්නේ යැ (ද්විතීය මාර්‍ගයෙන්) උත්තරණය කරන්නේ යැ (තෘතීය මාර්‍ගයෙන්) ප්‍රතරණය කරන්නේ යැ (චතුර්‍ත්‍ථ මාර්‍ගයෙන්) සමතික්‍රමණය කරන්නේ යැ (ඵලයට පැමිණ) ඉක්ම සිටුනේ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“කිත්තයිස්සාමි තෙ සන්ති -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යී.