5. 5.
(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි.) ශ්‍රේෂ්ඨයන් වහන්ස, මම යම් සියලු සංස්කාරයන්ගෙන් විවික්ත වූ නිර්වාණධර්මයක් දැනගන්නෙම් නම් යම්සේ මම් ආකාශය සෙයින් නානාප්‍රකාර බවට නො පැමිණෙන්නෙම් මෙ අස්නෙහි මැ හුන්නෙම් නොහොත් නිවුණෙම් (තෘෂ්ණා-දෘෂ්ටි) නිඃශ්‍රය රහිත වැ හැසිරෙන්නෙම් නම් එහෙයින් (මට) අනුකම්පා කෙරෙමින් අනුශාසනා කළ මැනැව.
අනුසාස බ්‍රහ්මෙ කරුණායමානො-‘අනුසාස බ්‍රහ්මෙ’ යනු: ශ්‍රේෂ්ඨයන් වහන්ස, අනුශාසනා කළ මැනැවැ අනුග්‍රහ කළ මැනැවැ අනුකම්පා කළ මැනැවැ’යි ‘අනුසාස බ්‍රහ්මෙ’ යනු වේ. කරුණායමානො- කරුණා කෙරෙමින් අනුද්දයා කෙරෙමින් අනුරක්ෂණ කෙරෙමින් අනුග්‍රහ කෙරෙමින් අනුකම්පා කෙරෙමින් නුයි ‘අනුසාස බ්‍රහ්මෙ කරුණායමානො’ යනු වේ.
විවෙක ධම්මං යමහං විජඤ්ඤං- ‘විවෙකධම්ම’යි අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් ක්ලේශ විරාගයෙක් දුඃඛනිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. යමහං විජඤ්ඤං- මම් යම් නිවනක් දැන ගනිම් නම් නියතින් දැනගනිම් නම් වෙසෙසින් දැනගනිම් නම් ඒ ඒ කරුණින් දැනගනිම් නම් ප්‍රතිවෙධ කෙරෙම් නම් අවබෝධ කෙරෙම් නම් ඥානයෙන් ස්පර්‍ශ කෙරෙම් නම් ප්‍රත්‍යක්ෂ කෙරෙම් නම් යි ‘විවෙකධම්මං යමහං විජඤ්ඤං’ යනු වේ.
යථාහං ආකාසොව අඛ්‍යාපජ්ජමානො- යම් සේ ආකාශය (නානාත්වයට) නො යේ ද නො ගනී ද නො බැඳේ ද හාත්පසින් නො බැඳේ ද එපරිද්දෙන් (නානාත්වයට) නො යනුයෙම් නො ගන්නෙම් නො බැඳෙනුයෙම් හාත්පසින් නො බැඳෙනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ. යම්සේ අහස ලතුයෙන් හෝ කසායෙන් හෝ බෙරුපතින් හෝ මඳටින් හෝ නො රැඳේ ද එසෙයින් නො රැඳෙනුයෙම් දූෂ්‍ය නො වනුයෙම් නො මුළා වනුයෙම් නො කිලිටි වනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ. යම්සේ අහස නො කිපේ ද පියවි නො හරී ද නො තද වේ ද නො ගැටේ ද, එසෙයින් නො කිපෙනුයෙම් පියවි නො හරිනුයෙම් තද බවට නො පැමිණෙනුයෙම් නො ගැටෙනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ.
ඉධෙව සන්තෝ අසිතො චරෙය්‍යං -‘ඉධෙව සන්තෝ’ යනු: මෙහි මැ වූයෙම් මෙහි මැ හුන්නෙම් මෙ අසුනෙහි මැ හුන්නෙම්, මෙ පිරිස්හි මැ හුන්නෙම් නුයි මෙසේත් ‘ඉධෙව සන්තෝ’ යනු වේ. නොහොත් මෙහි මැ ශාන්ත වූයෙම් උපශාන්ත වූයෙම් ව්‍යුපශාන්ත වූයෙම් නිවුණෙම් සන්හිඳුණෙම් නුයි මෙසේත් ‘ඉධෙව සන්තෝ’ යනු වේ. අසිතො- නිඃශ්‍රය දෙකෙකි: තෘෂ්ණා නිශ්‍රය ද දෘෂ්ටිනිශ්‍රය දැ යි... මේ තෘෂ්ණා නිශ්‍රය යි... මේ දෘෂ්ටිනිඃශ්‍රය යි. තෘෂ්ණානිඃශ්‍රය හැරපියා දෘෂ්ටිනිඃශ්‍රය දුරැලා ඇස (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ඇසුරු නො කෙළෙම් කන අනිඃශ්‍රිතයෙම් නැහැය අනිඃශ්‍රිතයෙම් දිව අනිඃශ්‍රිතයෙම් කය අනිඃශ්‍රිතයෙම් සිත අනිඃශ්‍රිතයෙම් රූප- ශබ්ද- ගන්‍ධ- රස - ස්ප්‍රෂ්ටව්‍ය- ධර්‍මයන්- කුලයා-ගණයා- ආවාසය ලාභය යශස ප්‍රශංසාව සුඛය චීවර පිණ්ඩපාත ශයනාසන ගිලන්පස බෙහෙසත් පිරිකර, කාමධාතුව රූපධාතුව අරූපධාතුව, කාමභවය රූපභවය අරූපභවය සඤ්ඤාභවය අසඤ්ඤාභවය නේවසඤ්ඤානාසඤ්ඤාභවය එකවෝකාරභවය චතුවෝකාරභවය පඤ්චවෝකාරභවය, අතීතය අනාගතය වර්තමානය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යායතනය ධර්‍මායතනය, සියලු ධර්‍මයන් ඇසුරු නො කෙළෙම් අනිඃශ්‍රිතයෙම් නො ඇලුණෙම් නො පැමිණියෙම් ඇතුළු නො වූයෙම් නො බැසගත්තෙම් නික්ම ගියෙම් බැහැර කෙළෙම් වෙසෙසින් මිදුණෙම් විසංයුක්ත වූයෙම් විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ, චරෙය්‍යං යනු: හැසිරෙන්නෙමි වෙසෙන්නෙමි ඉරියවු පවත්වන්නෙමි වැටෙන්නෙමි රැකෙන්නෙමි යැපෙන්නෙමි යාපනය වන්නෙම් නුයි ‘ඉධෙව සන්තෝ අසිතො චරෙය්‍යං’යනු වේ.