5. 3.
(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) මම මිනිස් ලොවැ හැසිරෙන පළිබෝධ රහිත වූ (බාහිතපාපී හෙයින්) බ්‍රාහ්මණ වූ දේවාති දේවයන් දකිමි. සමතැස් ඇතියාණෙනි, එබඳු වූ මුඹ වහන්සේ නමදිමි. ශාක්‍යයන් වහන්ස, විචිකිත්සායෙන් මා මුදනු මැනැව.
පස්සාමහං දෙවමනුස්සලොකෙ යනු: ‘දෙව’ යි තුන් දෙවිහ: සම්මුතිදේව යැ උත්පත්තිදේව යැ විසුද්ධිදේව යි. සම්මුති දේවයෝ කවරහ යත්: රජහු ද රජකුමරහු ද දෙවීහු ද සම්මුතිදේව යි කියනු ලැබෙති මොහු ‘සම්මුතිදේව’යි කියනු ලැබෙත්. උත්පත්තිදෙවයෝ කවරහ යත්: චාතුර්මහාරාජික දෙවියෝ ද තව්තිසා දෙවියෝ ද යාම දෙවියෝ ද තුෂිත දෙවියෝ ද නිර්‍මාණරතී දෙවියෝ ද පරනිර්මිතවසවර්ති දෙවියෝ ද බ්‍රහ්මකායික දෙවියෝ ද එයින් මතුයෙහි යම් දෙවි කෙනෙක් වෙත් නම් ඔහු දු ‘උත්පත්තිදේව’ යි කියනු ලැබෙති. මොහු ‘උත්පත්තිදෙව’ යි කියනු ලැබෙත්. විශුද්ධිදෙවයෝ කවරහ යත්: තථාගතශ්‍රාවක වූ අර්‍හත් ක්ෂීණාශ්‍රවයෝ ද යම් පසේබුදු කෙනෙක් වෙත් නම් ඔහු ද ‘විශුද්ධිදේව’ යි කියනු ලැබෙති. මොහු ‘විශුද්ධිදේව’ යි කියනු ලැබෙත්. බුදුහු සම්මුතිදේවයනට ද උත්පත්තිදේවයනට ද විශුද්ධිදේවයනට ද, දේව ද අතිදේව ද දේවාතිදේව ද වෙති, (අභීත බැවින්) සිංහාතිසිංහ යැ (නිකෙලෙස් බැවින් මහත් බැවින් හෝ) නාගාතිනාග ය ගණීනට ගණී යැ මුනිනට මුනි යැ රාජාධිරාජ යි. පස්සාමහං දෙව මනුස්සලොකෙ යනු: මිනිස්ලොවැ දෙවි වූවහු දකිමි, අතිදේව වූවහු දකිමි, දේවාතිදේව වූවහු දකිමි හඳුනමි අවලෝකනය කෙරෙමි සිතමි හාත්පසින් දකිම් නුයි ‘පස්සාමහං දෙව මනුස්සලොකෙ’ යනු වේ.
අකිඤ්චනං බ්‍රාහ්මණං ඉරීයමානං- ‘අකිඤ්චනං’ යනු: රාගකිඤ්චන යැ ද්වේෂකිඤ්චන යැ මෝහ කිඤ්චන යැ මාන කිඤ්චන යැ දෘෂ්ටි කිඤ්චන යැ ක්ලේශ කිඤ්චන යැ දුශ්චරිත කිඤ්චන යි. ඒ කිඤ්චනයෝ භාග්‍යවත් බුහුනට ප්‍රහීණයෝ යැ උසුන්මුල් ඇත්තාහු යැ තාලවස්තුවක් මෙන් කරන ලදහ, අනුඅභාවය කරන ලදහ, මතු නූපදනා පියවි ඇත්තාහ, එහෙයින් බුදුහු අකිඤ්චනයහ. බ්‍රාහ්මණො යනු සප්තධර්ම කෙනකුන් දුරු කළ වන බැවින් භාග්‍යවත්හු බ්‍රාහ්මණයහ: සත්කායදෘෂ්ටිය බාහිත (ප්‍රහීණ කරන ලද) වෙයි, විචිකිත්සාව බාහිත වෙයි, ශීලව්‍රතපරාමර්ශය බාහිත වෙයි. රාගය බාහිත වෙයි, ද්වේෂය බාහිත වෙයි. මෝහය බාහිත වෙයි, මානය බාහිත වෙයි, ඔවුන් විසින් සාංක්ලේශිත වූ පුනර්‍භවය ඇති කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මතුයෙහි ජාතිජරාමරණයට කාරණා වූ ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ කරන ලද්දාහු වෙත්.
1. “( සභිය’යි භාග්‍යවත්හු මෙසේ වදාළහ:) සියලු පාපධර්‍මයන් ප්‍රහීණ කොට එහෙයින් මැ විගතමල වූ (ශ්‍රේෂ්ඨ වූ) මාර්‍ගඵල සමාධියෙන් මැනැවින් එකඟ කළ සිත් ඇති (ලොකධර්මයෙන් කම්පිත නො වන බැවින්) ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්මවා සිටි (නිමවන ලද මාර්ගකෘත්‍ය ඇති හෙයින්) කේවලී වූ ඒ ක්ෂීණාස්‍රව තෙමේ (තෘෂ්ණා-දෘෂ්ටි නිඃශ්‍රය නැති හෙයින්) ‘අසිත’ යි ද (ලොකධර්මයෙන් නිර්විකාර හෙයින්) ‘තාදී’ යයි ද කියනු ලැබේ. හෙතෙම බ්‍රාහ්මණ නම් වේ.”
ඉරියමානං - හැසිරෙනුවහු වාසය කරනුවහු ඉරියවු පවත්වනුවහු වැටෙනුවහු රැකෙනුවහු යැපෙනුවහු යාපනයවනුවහු නුයි ‘අකිඤ්චනං බ්‍රාහ්මණං ඉරියමානං’ යනු වේ.
තං තං නමස්සාමි සමන්තචක්ඛු- ‘තං’ යි භාග්‍යවතුන් බෙණෙයි. නමස්සාමි - කයින් හෝ නමස්කාර කෙරෙමි, බසින් හෝ නමස්කාර කෙරෙමි, සිතින් හෝ නමස්කාර කෙරෙමි, අන්වර්ථප්‍රතිපදායෙන් හෝ නමස්කාර කෙරෙමි, ධර්‍මානුධර්‍ම ප්‍රතිපදායෙන් හෝ නමස්කාර කෙරෙමි, සත්කාර කෙරෙමි, ගරු කෙරෙමි, බුහුමන් කෙරෙමි. පුදමි. සමන්තචක්ඛු ‘සමන්තචක්ඛු’යි සර්වඥාතාඥානය කියනු ලැබෙයි, බුදුහු සර්‍වඥතාඥානයෙන් උපේතයහ, සමුපේතයහ, උපගතයහ, සමුපගතයහ, යුක්තයහ, පරිපූර්‍ණයහ, සමන්‍විත වූහු.
2. “ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුක ලෝකයෙහි (මෙ කලැ හෝ) පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත,(අනාගත වූ) නො දැනෙන කිසි (ධර්මජාතයෙක්) දු නැත. දතයුතු වූ යම් ධර්මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු වූහ’ යි”.
තං තං නමස්සාමි සමන්තචක්ඛු’ යනු වේ.
පමුඤ්ච මං සක්ක කථංකථාහි- ‘සක්ක’යනු: භාග්‍යවත්හු ශාක්‍යයහ, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ, නොහොත් (ප්‍රඥා ධන සමෘද්ධියෙන්,) ආඪ්‍යයහ, මහත් වූ ප්‍රඥා ධන ඇතියහ, (ප්‍රඥා ධනයෙන්) ධනවත් වූවාහු නුයි ද ශාක්‍යයහ. ඔවුන්ගේ මේ ධනයෝ වෙති, ඒ මෙසේ යි: ශ්‍රද්ධාධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්‍රැතධන යැ ත්‍යාගධන යැ ප්‍රඥාධන යැ සතිපට්ඨානධන යැ සම්‍යක්ප්‍රධානධන යැ සෘද්ධිපාදාධන යැ ඉන්ද්‍රියධන යැ බලධන යැ බොධ්‍යඞ්ගධන යැ මාර්ගධන යැ ඵල ධන යැ නිර්වාණධන යි. මේ නන්වැදෑරුම් ධනරත්නයෙන් ආඪ්‍යයහ, මහද්ධනයහ, ධනවත්හ යි ද ශාක්‍ය නම් වූහ.