5. 1.
(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි.)භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැව, මහර්ෂීන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් රුස්නෙමි. මුඹ වහන්සේ ගේ ධර්‍මනිර්ඝෝෂය අසා තමා ගේ (රාගාදිය) නිවනු සඳහා (අධිශීලාදියෙහි) හික්මෙන්නෙමි.
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං යනු: ‘පුච්ඡා’යි පෘච්ඡා තුනෙක: අදෘෂ්ටද්‍යොතනා පෘච්ඡා යැ දෘෂ්ටසංසන්දනා පෘච්ඡා යැ විමතිච්ඡෙදනා පෘච්ඡා යි මොහු තුන් පෘච්ඡා යි... නිර්‍වාණ පෘච්ඡා යි. පුච්ඡා මි තං යනු: මුඹ වහන්සේ පුළුවුස්මි, මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අධ්‍යෙෂණය කෙරෙමි, මුඹ වහන්සේ පහදවමි, මට කිවමැනව නුයි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි...මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙ තං යනු: කිව මැනැවැ පැවැසුව මැනැවැ දෙසුව මැනැව පැනවුව මැනැව තැබුව මැනැවැ විවෘත කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ ප්‍රකාශ කළ මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං’ යනු වේ.
ඉච්චායස්මා ධොතකො යනු: ‘ඉච්චා’යි පදසන්ධි යැ...ආයස්මා යනු: ප්‍රියවචන යැ ගුරුවචන යැ තෙල ‘ආයස්මා’ යනු සගෞරව සප්‍රතිශ්‍රයාධි වචන යි. ධොතකො යනු: එ බමුණුගේ නාම යැ සඞ්ඛ්‍යාවයැ සංඥාව යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යැ නුයි ‘ඉච්චායස්මා ධොතකො’ යනු වේ.
වාචාභිකඞ්ඛාමි මහේසි තුය්හං යනු: මුඹ වහන්සේගේ කීම වාක්‍ය මාර්‍ගය අවවාදය අනුශාසනීය කැමැත්තෙමි, වෙසෙසින් කැමැත්තෙමි ඉස්නෙමි ඉවසමි ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි රුස්නෙමි ජල්පන කෙරෙමි. මහේසි යනු: බුදුහු මහර්ෂීහ: මහත් වූ ශීලස්කන්‍ධය ඵෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂීහ...නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කොහි දැ යි මහර්ෂි වෙත් නුයි ‘වාචාභිකඞ්ඛාමි මහේසි තුයිහං’ යනු වේ.
තව සුත්‍වාන නිග්ඝොසං යනු: මුඹ වහන්සේ ගේ වචනය වාක්‍ය මාර්‍ගය අවවාදය අනුශාසනය අසාගෙන උශෙන ධරා සලකා නුයි ‘තව සුත්‍වාන නිග්ඝොසං’යනු වේ.
සික්ඛෙ නිබ්බානමත්තනො යනු: ‘සික්ඛා’ යි ශික්‍ෂා තුනෙක: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්ෂා යැ අධිප්‍රඥාශික්ෂා යි...මේ අධිප්‍රඥ ශික්‍ෂා යි. නිබ්බානමත්තනො යනු: තමාගේ රාගය නිවනු පිණිස ද්වේෂය නිවනු පිණිස මෝහය නිවනු පිණිස ක්‍රෝධය නිවනු පිණිස උපනාහය නිවනු පිණිස...හැම අකුශලාභිසංස්කාරයන්ගේ ශමනය පිණිස මතුමත්තෙහි ශමනය පිණිස සන්හිඳුවීම පිණිස හැරපීම පිණිස ප්‍රතිප්‍රශ්‍රබ්ධිය පිණිස අධිශීලය ද හික්මෙන්නේ යැ අධිචිත්තය ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාව ද හික්මෙන්නේ යැ මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙන්නේ යැ දනිමින් හික්මෙන්නේ යැ දක්මින් හික්මෙන්නේ යැ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙමින් හික්මෙන්නේ යැ සිත පිහිටුවමින් හික්මෙන්නේ යැ ශ්‍රද්ධායෙන් අධිමුක්තවෙමින් (බැඳෙමින්) හික්මෙන්නේ යැ වීර්යප්‍රග්‍රහය කෙරෙමින් හික්මෙන්නේ යැ සිහි එළවමින් හික්මෙන්නේ යැ චිත්ත සමාධානය කෙරෙමින් හික්මෙන්නේ යැ ප්‍රඥායෙන් ප්‍රජානනය කෙරෙමින් හික්මෙන්නේ යැ ස්වලක්ෂණාවබෝධයෙන් දතයුත්ත ස්වලක්ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙන්නේ යැ සාමාන්‍ය ලක්‍ෂණාවබොධයෙන් දත යුත්ත සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙන්නේ යැ ප්‍රහාණය කළයුත්ත ප්‍රහාණය කෙරෙමින් හික්මෙන්නේ යැ භාවනා කළ යුත්ත භාවනා කෙරෙමින් හික්මෙන්නේ යැ ප්‍රත්‍යක්ෂ කළ යුත්ත ප්‍රත්‍යක්ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ හැසිරෙන්නේ යැ මොනොවට හැසිරෙන්නේ යැ සමාදන් ව ගෙන පවත්නේ නුයි ‘සික්ඛෙ නිබ්බානමත්තනො’යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං -පෙ- සික්ඛෙ නිබ්බාන මත්තනො” යි.
5. 2.
(බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) එසේ වී නම් මෙහි මැ නුවණැති වැ සිහි ඇති වැ උත්සාහ කරව, මෙහි මාගේ වචන අසා තමාගේ කෙලෙස් නිවනු පිණිස (තුන් ශික්‍ෂා) හික්මෙන්නේ යි.
තෙන හාතප්පං කරොහී යනු: කෙලෙස් තවන වීර්‍ය්‍යය කරව, උත්සාහ කරව, අධිමාත්‍ර උත්සාහ කරව, ස්ථිරවීර්‍ය්‍යය කරව, ධෛර්‍ය්‍යය කරව, වීර්‍ය්‍යය කරව, කර්තුකම්‍යතා කුශලච්ඡන්‍දය උපදව, මොනොවට උපදව, සිහි එළව, මොනොවට සිහි එළව, නිපදව, වෙසෙසින් නිපදව නුයි ‘තෙන හා තප්පං කරොහි’ යනු වේ.