4. 4.
(ආයුෂ්මත්, මෙත්තගූ මෙසේ කී යැ:) ඇපි යමක් විචාළමෝ ද එය මුඹ වහන්සේ අපට වදාළ සේක. අන් කරුණකුදු මුඹ වහන්සේ විචාරම්හ. එය දැන් වදාළ මැනැව, නුවණැත්තෝ (කාමාදි චතුර්විධ) ඕඝයත් ජාති ජරා ශෝක පරිදේවදුකත් කෙසේ ඉක්මවත් දැ? සර්‍වඥ මුනි වූ මුඹ වහන්සේ අයදිමි. එය මට විසඳා වදාළ මැනැව, යම් හෙයෙකින් මුඹ වහන්සේ විසින් තෙල දහම සත්ත්‍වයන් විසින් අවබෝධ කරන සේ පැනවීම් වශයෙන් දන්නා ලද ද එහෙයිනි.
යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො යනු: (ඇපි) යමක් විචාළමෝ ද අයැදියමෝ ද අධ්‍යෙෂණ කළමෝ ද පැහැද වූවමෝ ද - අකිත්තයි නො යනු: කිර්තනය කරන ලද යැ කියන ලද යැ දෙසන ලද යැ පනවන ලද යැ (ඥාන මුඛයෙහි) තබන ලද යැ විවරා කරන ලද යැ විවරණ කරන ලද යැ පහළ කරන ලද යැ ප්‍රකාශ කරන ලද නු’යි ‘යං තං අපුච්ඡිම්හ අකිත්ත යී නො’ යනු වේ.
අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ග බ්‍රෑහි යනු: මුඹ වහන්සේ අනෙකක් විචාරම්හ, මුඹ වහන්සේ අනෙකක් අයදිම්හ, මුඹ වහන්සේ අනෙකක් අධ්‍යෙෂණ කරම්හ, මුඹ වහන්සේ අනෙකක් (කියන්නට) පහදවම්හ, මුඹ වහන්සේ මත්තෙහි විචාරම්හ- තදිඞ්ග බ්‍රෑහි යනු: එය දැන් වදාළ මැනව කියනු මැනැව දෙසනු මැනැව පනවනු මැනැව (ඥානමුඛයෙහි) තබනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව පාළ කරනු මැනැව ප්‍රකාශ කළ මැනැව නු’යි ‘අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ග බ්‍රෑහි’ යනු වේ.
කථන්නු ධීරා විතරන්ති ඕඝං ජාතිජරං සෝක පරිද්දවං ච යනු: ‘කථන්නු’ යනු මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො’ යි සංශයපෘච්ඡා යැ විමතිපෘච්ඡා යැ ද්වෛධපෘච්ඡා යැ අනෛකාන්ත පෘච්ඡා යි. ධීරා යනු: ධීරයෝ පණ්ඩිතයෝ පැනැතියෝ බුද්ධිමත්හු නැණැතියෝ විමර්ෂඥාන ඇත්තාහු (අනිත්‍යාදීන්) තුලිත ඥාන, ඇත්තාහු. ඕඝං යනු: කාමෝඝ යැ භවොඝ යැ දෘෂ්ටි-ඕඝ යැ අවිද්‍යා ඕඝ යි. ජාති යනු: ඒ ඒ සත්ත්‍වයන් ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් උපැත්මෙක් හට ගැන්මෙක් අවක්‍රාන්තියක් නිපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, හේ යැ. ජරා යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් දිරීමෙක් දිරන බවෙක් (දන්ත නඛාදීන්ගේ) කැඩුණු බවෙක් (කේශාදීන්ගේ) පැසුණු බවෙක් රැලි වැටුණු සම් ඇති බවෙක්, ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ පැසීමෙක් වේ ද එය යි. සොකො යනු: ඥාති ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, රෝග ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, ශීල ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් හෝ සමන්‍වාගත වූවහු ගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්‍මයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ ශෝකයෙක් ශෝක කරන අයුරෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් අබ්භ්‍යන්තර දාහයෙක් අබ්භ්‍යන්තර පරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක්.
පරිදෙවො යනු: ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ සමන්‍වාගත වූවහු ගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්‍මයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හැඬු බවෙක් ගුණ කියා හැඬු බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් (සිස් බසෙක්) විප්‍රලාපයෙක් පුනපුනා ලපනයෙක් පුනපුනා ලපනාකාරයෙක් පුනපුනා ලපිත බවෙක් වේද එය යි.
කථං නු ධීරා විතරන්තී ඕඝං ජාතිජරං සොකපරිද්දවඤ්ච යනු: ධීරයෝ කිසෙයින් ඕඝයත් ජාතියත් ජරාවත් ශොකයත් පරිදෙවයත් (කාමයන් දුරු කෙරෙමින්) තරණය කෙරෙති, (කෙලෙසුන් දුරු කෙරෙමින්) උත්තරණය කෙරෙති, (හේතු සිඳිමින්) ප්‍රතරණය කෙරෙති, (සසර) ඉක්මවති, (ප්‍රතිසන්‍ධිය අභව්‍යොත්පත්තික කෙරෙමින්) ඉක්ම සිටිත් නුයි ‘කථං නු ධීරා විතරන්ති ඕඝං ජාතිජරං සොකපරිද්දවඤ්ච’ යනු වේ.
තං මෙ මුනි සාධු වියාකරොහි යනු: තං යනු: යමක්හු පුළුවුස්නෙම් ද, යමක්හු අයදනෙම් ද, යමක්හු අධ්‍යෙෂණ කෙරෙම් ද, යමක්හු පහදවම් ද, (ඔහු යැ) මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් .... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද, එයයි. භාග්‍යවතුන් වහන්සේ ඒ ඥානයෙන් සමන්‍වාගත වූවාහු මුනි වූවාහු මුනිභාවයට පැමිණියහ.
මෝනෙය්‍ය තුනෙකි: කායමෝනෙය්‍ය යැ වචීමොනෙය්‍ය යැ මනෝමෝනෙය්‍ය යි. කායමෝනෙය්‍ය කවරැ යත්: ත්‍රිවිධ කායදුශ්චරිතයන්ගේ ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ, ත්‍රිවිධ කායසුචරිතය කායමෝනෙය්‍ය යැ, කය අරමුණු කොට පවත්නා ඥානය කායමෝනෙය්‍ය යැ කායපරිඥාව කාය මෝනෙය්‍ය යැ පරිඥාසහගත (අධ්‍යාත්ම කය සම්මර්‍ශනය කොට උපදවන ලද) මාර්‍ගය කායමෝනෙය්‍ය යැ කයෙහි ඡන්‍දරාග ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ කායසංඛාර (ආශ්වාස ප්‍රශ්වාස) නිරෝධ සංඛ්‍යාත චතුර්ථත්ධ්‍යානසමාපත්තිය කායමෝනෙය්‍ය යැ මේ ‘කායමෝනෙය්‍ය’ යි.
වචීමොනෙය්‍ය කවරැ යත්: චතුර්විධ කායදුශ්චරිතයන් ගේ ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ චතුර්විධ වාක්සුචරිතය වචීමොනෙය්‍ය යැ, වචනය අරමුණු කොට පවත්නා ඥානය වචීමොනෙය්‍ය යැ, වාක්පරිඥාව වචීමොනෙය්‍ය යැ, පරිඥාසහගත මාර්‍ගය වචීමොනෙය්‍ය යැ වචනයෙහි ඡන්‍දරාග ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ, වාක්සංස්කාර (විතර්‍ක විචාර) නිරෝධ සංඛ්‍යාත ද්විතීයධ්‍යානසමාපත්තිය වචීමොනෙය්‍ය යැ, මේ ‘වචීමොනෙය්‍ය’ යි.