4. 3.
අපණ්ඩිත වූ යමෙක් (තෘෂ්ණාදි) උපධිය කෙරේ ද, අඥාන වූ හෙතෙම පුනපුනා සසර දුකට පැමිණෙයි. එහෙයින් (සංස්කාරයන් අනිත්යාදි විසින්) දන්නේ සසර දුක ජාතිය ප්රභව කොට ඇතැ’යි දක්නේ (තෘෂ්ණාදි) උපධිය නො කරන්නේ යි.
යො චෙ අවිද්වා උපධිං කරෝති - ‘යො’ යනු: යම් යම්බඳු වූ යමෙකින් යුක්ත වූ යම්සේ සිටි යම් ප්රකාර වූ යම් තනතුරකට පැමිණි යම් ධර්මයෙකින් සමන්වාගත වූ ක්ෂත්රියයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ වෛශ්යයෙක් හෝ ශුද්රයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ දෙවියෙක් හෝ මනුෂ්යයෙක් හෝ යි. අවිද්වා යනු: අවිද්යාවට පැමිණියේ අඥාන වූයේ අපණ්ඩිත වූයේ දුෂ්ප්රාඥ වූයේ යි. උපධිං කරෝති - තෘෂ්ණා උපධිය කෙරෙයි, දෘෂ්ටි උපධිය කෙරෙයි, ක්ලේශෝපධිය කෙරෙයි, කර්මොපධිය කෙරෙයි, දුශ්චරිතොපධිය කෙරෙයි, ආහාරොපධිය කෙරෙයි, ප්රතිඝොපධිය කෙරෙයි, සතර උපාදින්නධාතු සංඛ්යාත උපධිය කෙරෙයි, ෂඩ්-අධ්යාත්මායතන සංඛ්යාත උපධිය කෙරෙයි, ෂඩ් විඥානකාය උපධි කෙරෙයි, උපදවයි, මොනොවට උපදවයි, නිපදවා නු’යි ‘යො චෙ අවිද්වා උපධිං කරෝති’ යනු වේ.
පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො - පුනපුනා ජාතිදුකට ජරාදුකට ව්යාධිදුකට මරණ දුකට සෝක-පරිදේව-දුක්ඛ-දොමනස්සුපායාස දුකට එයි පැමිණෙයි එළැඹෙයි ගනියි පරාමර්ශනය කෙරෙයි පිවිසේ. මන්දො යනු: බාල වූයේ මුළා වූයේ අවිද්වත් වූයේ අවිද්යාවට පැමිණියේ අඥාන වූයේ අපණ්ඩිත වූයේ දුෂ්ප්රාඥ වූයේ නු’යි ‘පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො’ යනු වේ.
තස්මා පජානං උපධිං න කයිරා - ‘තස්මා’ යනු: එ කරුණින් එ හෙයින් ඒ ප්රත්යයෙන් ඒ නිදානයෙන් මෙසේ උපධීන්හි ආදීනව දක්නේ නු’යි ‘තස්මා’ යනු වේ. පජානං යනු: දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්රතිවේධ කරනුයේ යි, හැම සංස්කාරයෝ අනිත්යහ’යි දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්රතිවේධ කරනුයේ යි, හැම සංස්කාරයෝ දුඃඛයහ’යි-හැම සංස්කාරයෝ අනාත්මහ’යි .. යම් කිසි සමුදය ධර්මයෙක් ඇද්ද, එ හැම නිරෝධය ස්වභාව කොට ඇතැ යි දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්රතිවේධ කරනුයේ යි. උපධිං න කයිරා යනු: තෘෂ්ණා (සංඛ්යාත) උපධි නො කරන්නේ යැ, දෘෂ්ට්යුපධි නො කරන්නේ යැ, ක්ලේශෝපධි නො කරන්නේ යැ, කර්මොපධි නො කරන්නේ යැ, දුශ්චරිතොපධි නො කරන්නේ යැ, ආහාරොපධි නො කරන්නේ යැ, ප්රතිඝොපධි නො කරන්නේ යැ, සතර උපාදින්නධාතු සංඛ්යාත උපධි නො කරන්නේ යැ, සවැදෑරුම් ආධ්යාත්මික ආයතන සංඛ්යාත උපධි නො කරන්නේ යැ, ෂඩ් විඥානකාය සංඛ්යාත උපධි නො කරන්නේ යැ, නූපදවන්නේ යැ නො නිපදවන්නේ යැ, අතිශයින් නො නිපදවන්නේ යැ නු’යි ‘තස්මා පජානං උපධිං න කයිරා’ යනු වේ.
දුක්ඛස්ස යනු: ජාති දුකට ජරා දුකට ව්යාධි දුකට මරණ දුකට සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුකට යැ. පභවානුපස්සී යනු: දුඃඛයාගේ මූලය අනුව බලනුයේ හේතුව අනුව බලනුයේ නිදානය අනුව බලනුයේ සම්භවය අනුව බලනුයේ ප්රභවය අනුව බලනුයේ සමුත්ථානය අනුව බලනුයේ ආහාරය අනුව බලනුයේ ආලම්බනය අනුව බලනුයේ ප්රත්යය අනුව බලනුයේ සමුදය අනුව බලනුයේ යි. ‘අනුපස්සනා’ යී ප්රඥාව කියනු ලැබෙයි - යම් ප්රඥාවක් ප්රජානනාකාරයෙක් ... අමොහ සංඛ්යාත ධර්මවිචයයෙක් සම්යග්දෘෂ්ටියක් වේ ද එය යි. මේ අනුපස්සනා සංඛ්යාත ප්රඥායෙන් යුක්ත වූයේ අතිශයින් යුක්ත වූයේ එළැඹ සිටියේ අතිශයින් එළැඹ සිටියේ නො වෙන් වූයේ පරිපූර්ණ වූයේ සමන්වාගත වූයේ යි. හේ ‘අන්පස්සී’ යී කියනු ලැබේ නු’යි ‘දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යො චෙ අවිද්වා ... ජාතිප්පභවානුපස්සී” යනු.