4. 2.
(බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) ජාත්‍යාදි දුකට කාරණය (තෙපි) මා විචාරව, එය ප්‍රත්‍යක්‍ෂ කොට දැනගත්තකු සෙයින් තොපට ප්‍රකාශ කරම්හ. ලොවැ අනෙක ස්වරූප වූ යම් දුක් කෙනෙක් ඇද්ද එ හැම දුඃඛයෝ (තෘෂ්ණාදි) උපධි හේතුයෙන් උපදනාහ.
දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි - ‘දුක්ඛස්ස’ යනු: ජාති දුකට, ජරා දුකට, ව්‍යාධි දුකට, සෝක-පරිදේව (කායික) දුක්ඛ (මානසික) දෝමනස්ස උපායාස දුකට. පභවං අපුච්ඡසි- යනු: දුකට මූලය විචාරව, හේතුව විචාරව, නිදානය විචාරව, සම්භවය විචාරව, ප්‍රභවය විචාරව. සමුත්ථානය විචාරව, ආහාරය විචාරව, ආලම්බනය විචාරව, ප්‍රත්‍යය විචාරව, සමුදය විචාරව, යාච්ඤා කරව, අධ්‍යෙෂණ කරව, පහදවා නු’යි දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි’ යනු වේ.
මෙත්තගූ’ති භගවා යනු: බමුණහු නමින් අමතන සේක. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... යම් ‘භගවත්’ යන නමෙක් වී නම් තෙල අර්‍හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නු’යි ‘මෙත්තගූ’ති භගවා යනු වේ.
තං තෙ පවක්ඛාමි, යථා පජානං - ‘තං’ යනු: දුකට මූලය පවසමි, හේතුව පවසමි, නිදානය පවසමි. සම්භවය පවසමි, ප්‍රභවය පවසමි, සමුත්ථානය පවසමි, ආහාරය පවසමි, ආලම්බනය පවසමි, ප්‍රත්‍යය පවසමි, සමුදය පවසමි, කියමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවරණ කෙරෙමි, විභාග කෙරෙමි, නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නු’යි ‘තං තෙ පවක්ඛාමි’ යනු වේ.
යථා පජානං - ප්‍රතිවේධ කොට දතුයෙක් හාත්පසින් දතුයෙක් වෙසෙසින් දතුයෙක් මැනැවින් දතුයෙක් අවබෝධ කළ කෙනෙක් යම්සේ ද, තෙල මෙසේ වී ල’යි නො වැ තෙල මෙසේ ල’යි නො වැ පරම්පරා කථා වෙනුදු නො වැ පිටක සම්ප්‍රදාය හා සම වේ යයි නො වැ තර්‍ක හෙතුවෙනුදු නො වැ නයග්‍රහණයෙනුදු නො වැ (මේ සොඳුරු යැ යි) කරුණු සැලකීමෙනුදු නො වැ අපට රුචි වූ දෘෂ්ටිය හා සම වේ යයි නො වැ තෙමේ මැ තමා විසින් අවබෝධ කළ තමා විසින් ප්‍රත්‍යවේක්‍ෂා කළ ධර්‍මය තොපට කියනෙමී ‘තං තෙ පවක්ඛාමි යථා පජානං’ යනු වේ.
උපධිනිදානා පභවන්ති දුක්ඛා - ‘උපධි’ යනු: දශ උපධීහු යැ: තෘෂ්ණා උපධි යැ දෘෂ්ටි උපධි යැ ක්ලේශෝපධි යැ කර්මොපධි යැ දුශ්චරිතොපධි යැ ආහාරොපධි යැ ප්‍රතිඝොපධි යැ (පෘථිව්‍යාදි) සතර උපාදින්න ධාතු සංඛ්‍යාත උපධි යැ ෂඩ් අධ්‍යාත්ම ආයතන සංඛ්‍යාත උපධි යැ ෂඩ්විඥානකාය සංඛ්‍යාත උපධි යැ සියලු ත්‍රෛභූමක දුඃඛය දුස්සහනාර්ථයෙන් උපධි නම් වෙයි. මොහු දශ උපධි යයි කියනු ලැබෙත්. දුක්ඛා යනු: ජාති දුක යැ ජරා දුක යැ ව්‍යාධි දුක යැ මරණ දුක යැ සෝක-පරිදේව-දුක්ඛ-දොමනස්සුපායාස දුක යැ නිරය දුක යැ ... දෘෂ්ටි ව්‍යසනයෙන් වූ දුක යි. ස්කන්‍ධාදි යම් ධර්‍ම කෙනකුන්ගේ ආදියෙහි උත්පත්තිය පැනේ ද අස්තංගම වශයෙන් ඔවුන්ගේ නිරෝධය පැනෙයි, විපාකය තෙමේ කර්‍මය ඇසිරි කෙළේ යැ, කර්‍මය තෙමේ විපාකය ඇසිරි කෙළේ යැ; රූපය නාමය ඇසිරි කෙළේ යැ, නාමය රූපය ඇසිරි කෙළේ යැ; (හැම කර්‍මාදිය) ජාතිය අනුව ගියේ යැ, ජරායෙන් පැතිරෙන ලද, ව්‍යාධියෙන් මඬනා ලද, මරණයෙන් පහරන ලද, දුකෙහි පිහිටියේ යැ අත්‍රාණ යැ අලෙන යැ අසරණ යැ අසරණ වූයේ යි. මොහු දුඃඛයෝ යි කියනු ලැබෙත්. මේ දුඃඛයෝ උපධි නිදාන කොට ඇතියාහු, උපධි හේතු කොට ඇතියාහු, උපධි ප්‍රත්‍යය කොට ඇතියාහු, උපධි කාරණ කොට ඇත්තාහු වෙති පහළ වෙති, හටගනිති, උපදිති, මොනොවට උපදිති, නිපැදෙති පහළ වෙත් නු’යි ‘උපධිනිදානා පභවන්ති දුක්ඛා, යනු වේ.