3. 5.
(ආයුෂ්මත්, පුණ්ණක මෙසේ විචාරයි) “නිදුකාණෙනි, යාගයෙහි යෙදුණු ඔහු ඉදින් යාගයන් කරණ කොට ගෙන ජාතියත් ජරාවත් තරණය නො කළාහු නම් නිදුකාණෙනි, එකල්හි දෙව්මිනිස් ලොවැ කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එ කරුණ පුළුවුස්මි. භාග්යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.”
තෙ චෙ නාතරිංසු යාජයොගා යනු: ඒ යඥයාජක වූ යාගයෙහි යෙදුණු භවරාගයෙහි ඇලුණාහු ජාතිජරා මරණය තරණ- උත්තරණ- ප්රතරණ- සමතික්රමණ- ව්යතික්රමණ- නො කළාහු යැ. ජාති ජරා මරණයෙන් නො නික්මුණාහු බැහැර නො වූවාහු නො ඉක්මගියාහු මොනොවට නො ඉක්ම ගියාහු නො ඉක්ම පැවැත්තාහු ඇතුළු ජරාමරණයෙහි පෙරළෙති.
ඇතුළු සසරමඟ පෙරළෙති. ජාතියට පිවිසියාහු ජරායෙන් පතළාහු ව්යාධියෙන් මැඩුණාහු මරණයෙන් පහරන ලද්දාහු රක්ෂා විරහිත වූවාහු නිලීයනස්ථාන රහිත වූවාහු අසරණ වූවාහු තමහට ප්රතිෂ්ඨා නො කරන්නාහු යයි ‘තෙ චෙ නාතරිංසු යාජයොගා’ යනු වේ. ඉච්චායස්මා පුණ්ණකො යනු: ඉච්චා’ යනු: පද සන්ධි යැ ... ආයස්මා පුණ්ණකො යනු වේ.
යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: යඤ්ඤෙහි යනු: යාගයන් කරණ කොට බොහෝ වූ යාගයන් කරණකොට විවිධයාගයන් කරණ කොට මහත් වූ යාගයන් කරණ කොට, මාරිස යනු: තෙල ‘මාරිස’ යනු: ප්රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්රතිශ්රයනාම යැ යි ‘යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: එකල්හි තෙල කවරෙක් දෙවියන් සහිත ලෝකයෙහි මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්වලෝකයෙහි ජාති ජරාමරණය තරණය කෙළේ ද? උත්තරණය කෙළේ ද? ප්රතරණය කෙළේ ද? සමතික්රමණය කෙළේ ද? ඉක්ම පැවැත්තේ ද? මාරිස යනු: තෙල මාරිස යනු ප්රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්රතිශ්රයාධිවචන ‘අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
පුච්ඡාමි තං භගවා බ්රෑහි මෙතං යනු: පුච්ඡාමි තං යනු: මුඹ වහන්සේ විචාරමි මුඹ වහන්සේ අයදිමි මුඹ වහන්සේ අනවමි. මුඹ වහන්සේ පහදවමි. තෙල මට වදාළ මැනැව නුයි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: තෙල ‘භගවා’ යනු: ගෞරවනාම යැ ... සාක්ෂාත් ප්රඥප්ති යැ. බ්රෑහි මෙතං යනු: කිව මැනැව, පැවැසුව මැනැව, දෙසුව මැනැව, පැනැවුව මැනැව, පිහිටුව මැනැව, විවෘත කළ මැනැව, විභාග කළ මැනැව, නො ගැඹුරු කළ මැනැව, ප්රකාශ කළ මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්රෑහි මෙතං’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“තෙ චෙ නාතරිංසු යාජයොගා ... පුච්ඡාමි තං භගවා බ්රෑහි මෙතං” යි.