3. 6.
(බුදුහු මෙසේ වදාළහ: “පුණ්ණකය,) සත්ලොවැ (පරාත්මභාව ස්වාත්මභාවාදි) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්‍ෂීණාස්‍රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (කෙලෙස් සන්හිඳීමෙන්) ශාන්ත වූ (කායදුශ්චරිතාදි) ධූම විරහිත වූ (රාගාදී) උපද්‍රව රහිතවූ ආශා රහිතවූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම ජාති ජරා තරණය කෙළේ යයි කියමි”යි.
සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි යනු: ‘සඞ්ඛා’යි ඥානය කියනු ලැබෙයි. යම් ප්‍රඥාවක් ජ්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි.
පරොවරාති යනු: ස්වාත්මභාවය ‘ඔර’ යයි කියනු ලැබෙයි, පරාත්මභාවය ‘පර’ යයි කියනු ලැබෙයි, තමාගේ රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥානය ‘ඔර’ යයි කියනු ලැබෙයි, මෙරමා ගේ රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥානය ‘පර’ යයි කියනු ලැබෙයි, ආධ්‍යාත්මික ෂඩායතනය ‘ඔර’ යයි කියනු ලැබෙයි, බාහිර ෂඩායතනය ‘පර’ යයි කියනු ලැබෙයි, මනුෂ්‍යලෝකය ‘ඔර’ යයි කියනු ලැබෙයි, දිව්‍යලොකය ‘පර’ යයි කියනු ලැබෙයි, කාමධාතුව ‘ඔර’ යයි කියනු ලැබෙයි, රූපධාතු අරූපධාතු ‘පර’ යයි කියනු ලැබෙයි, කාමධාතු රූපධාතු ‘ඔර’ යයි කියනු ලැබෙයි, අරූපධාතු ‘පර’ යයි කියනු ලැබෙයි, ‘සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි’ යනු: පරොවර (පරාවර) යන් අනිත්‍ය හෙයින් නුවණින් විමසා, දුඃඛ හෙයින්... රෝග හෙයින්-ගණ්ඩ හෙයින්... නිස්සරණ හෙයින් නුවණින් විමසා දැනැ, තුලනය කොට තීරණය කොට, විභාවන කොට ප්‍රකට කොට නුයි ‘සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි’ යනු වේ. පුණ්ණකා’ති භගවා යනු: ‘පුණ්ණක’යි බුදුහු එ බමුණු නමින් අමතති, ‘භගවා’ යනු: මේ භගවා යනු ගෞරව නාම යැ... සාක්‍ෂාත් ප්‍රඥප්ති නුයි ‘පුණ්ණකා’ති භගවා’ යනු වේ.
යසසිඤ්ජිතං නත්‍ථි කුහිඤ්චි ලෝකේ යනු: ‘යස්ස’ යනු අර්‍හත් ක්ෂීණාස්‍රවයනට ඉඤ්ජිතං යනු: තෘෂ්ණා ඉඤ්ජන (කම්පන) යැ දෘෂ්ටි ඉඤ්ජන යැ මාන ඉඤ්ජන යැ ක්ලේශ ඉඤ්ජන යැ කාම ඉඤ්ජනයි. යමක්හට මේ ඉඤ්ජනයෝ නැද්ද, නො වෙත් ද, විද්‍යමාන නො වෙත් ද, නො ලැබෙත් ද, ප්‍රහීණ ද, අ මුලුසුන් ද, සන්හිඳුණාහු ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද, යළි උපදනුවට අභව්‍යයෝ ද, නැණ’ ගින් දැවුණාහු ද. කුහිඤ්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්මබාහ්‍ය වේවයි කොහි කිසිවෙක්හි කිසි තැනෙකැ. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතන ලෝකයෙහි නුයි ‘යසසිඤ්ජිතං නත්‍ථි කුහිඤ්චි ලෝකේ’ යනු වේ.
සන්තෝ විධුමො අනීඝොනිරාසො අතාරිසො ජාතිජරඤ්ච බ්‍රෑමි යනු: සන්තෝ යනු: රාගය සන්හුන් බැවින් ශාන්ත යැ, ද්වේෂය-මෝහය-ක්‍රෝධය බද්ධවෛරය-මකු බව... සියලු අකුශල සංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවනලද බැවින් ව්‍යුපශමනය කරනලද බැවින් නිවුණු බැවින් නිවෘත බැවින් විගත බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ ව්‍යුපශාන්ත වූයේ නිවියේ ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූයේ නුයි ‘සන්තෝ’ යනු වේ.
විධුමො යනු: කායදුශ්චරිතය දුම් විරහිත කරනලද විධමනය කරනලද වියළනලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරනලද වෙයි, වාග්දුශ්චරිතය- මනෝදුශ්චරිතය දුම් විරහිත කරන ලද විධමනය කරන ලද වියළන ලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරන ලද වෙයි, රාගය-ද්වේෂය-මෝහය විධුමිත ශොෂිත විශොෂිත ව්‍යන්තීකෘත වෙයි, ක්‍රෝධය, බද්ධවෛරය, මකුබව, යුගග්‍රාහය ඊර්‍ෂ්‍යාව, මාත්සර්‍ය්‍යය, මායාව, සඨ බව ස්තම්භය (තද බව) කරණොත්තරීයකරණය, මානය, අතිමානය, මදය, ප්‍රමාදය, හැම කෙලෙස්, හැම දුසිරිත්, හැම දරථ, හැම පරිදාය, හැම සතැවුලි, හැම අකුශලාභිසංස්කාර ධූම විරහිත කරන ලද, විධමනය කරන ලද, වියළන ලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරන ලද වෙති. නොහොත් ක්‍රෝධය ‘ධූම’ යයි කියනු ලැබෙයි:
1. “බමුණ මානය මැ තාගේ පිරිකරබර වෙයි, ක්‍රෝධය ධූමය වෙයි, මෘෂාවාදය හළු යැ, දිව හෝම සැන්ද යැ හෘදය ගිනිදල්වන තැන යැ පුරුෂයාගේ මොනොවට දැමුණු සිත ගින්න වේ.”
තවද දස අයුරෙකින් ක්‍රෝධ උපද්දි. ‘මට අනර්‍ත්‍ථ කෙළේ යැ’යි ක්‍රෝධය උපදී, ‘මට අනර්‍ත්‍ථ කෙරේ’ යයි ක්‍රෝධය උපදී, ‘මට අනර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, ‘මා ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථ කෙළේ යැ, අනර්‍ත්‍ථ කෙරෙයි, අනර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, මා ‘අප්‍රිය අමනාපයහට අර්‍ත්‍ථ කෙළේ යැ, අර්‍ත්‍ථ කෙරෙයි, අර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, අස්ථානයෙහි හෝ ක්‍රෝධය උපද්දි. මෙ බඳු යම් චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කොපයෙක් බලවත් කොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරපීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ප්‍රකෘතිය හැරපීමෙක් ප්‍රකෘතිය හැරපියන අයුරෙක් ප්‍රකෘතිය හළ බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් සැඬ බවෙක් අපරිපූර්‍ණ වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද මේ ‘ක්‍රෝධ’ යයි කියනු ලැබේ.