3. 4.
(බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) (ඔහු රූප ප්‍රතිලාභාදිය) ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, (යාගාදිය) පසසති, ජල්පනය කෙරෙති, පුදති. (රූපාදි) ලාභය පිණිස පුනපුනා කාමයන් මැ (අපට වන්නේ මැනැව’යි) කියත්. යාගයෙහි යෙදුණු භවරාගයෙන් රැඳුණු ඔහු ජාති ජරා (ආදි සසර දුක) තරණය නො කළාහ’යි කියමි”යි.
ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජුහන්ති යනු: ‘ආසිංසන්ති’ යනු: රූප ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ගන්ධප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රසප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ස්ප්‍රෂ්ටව්‍යප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, පුත්‍රප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, දාරප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ධනප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, යශස්ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ඓශ්චර්‍ය්‍යප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, බ්‍රාහ්මණමහාසාරකුලයෙහි ... ගෘහපතිමහාසාර කුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, චාතුර්මහාරාජික දෙවියන් කෙරෙහි ... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, කැමැති වෙති, ඉවසති, පතති, ඊප්සා කෙරෙත් නුයි ‘ආසිංසන්ති’ යනු වේ.
ථොමයන්ති යනු: දානය හෝ වර්‍ණනා කෙරෙති, (රූපාදිප්‍රතිලාභ) ඵලය හෝ වර්‍ණනා කෙරෙති, දක්‍ෂිණාර්‍හයන් හෝ වර්‍ණනා කෙරෙත්. කිසෙයින් දානවර්ණනා කෙරෙත් ද යත්: පිරිසිදු කොට දෙන ලද්ද, මන වඩනු කොට දෙන ලද්ද, ප්‍රණීත කොට දෙන ලද්ද, යෝග්‍ය කාලයෙහි දෙන ලද්ද, කැප කොට දෙන ලද්ද, විමසා දෙන ලද්ද, නිදොස් කොට දෙන ලද්ද, එක්වන් දෙන ලද්ද, දෙමින් පහදවන ලද සිත ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති, වණති, පසසත් නුයි මෙසෙයින් දානය දානවර්ණනා කෙරෙත්.
කිසෙයින් ඵලය වර්‍ණනා කෙරෙත් ද යත්: මෙ (මිනිස් ලොවැ දුන්) කරුණින් රූපප්‍රතිලාභය වන්නේ යැ... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය වන්නේ යැ යි ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති, වර්‍ණනා කෙරෙති, ප්‍රශංසා කෙරෙත් නුයි මෙසෙයින් ඵලය වර්‍ණනා කෙරෙත්.
කිසෙයින් දක්‍ෂිණාර්‍හයන් වර්‍ණනා කෙරෙත් ද යත්: දක්ෂිණාර්භයෝ “ජාති සම්පන්නයහ, ගොත්‍රසම්පන්නයහ, වෙදමන්ත්‍රාධ්‍යාපකයහ, වේදමන්ත්‍ර ධරනුවහ. නිඝණ්ටු, කෙටූභ (කාව්‍යශාස්ත්‍ර) සහිත වූ ශික්‍ෂා නිරුක්ති සඞ්ඛ්‍යාත අක්‍ෂරප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයෙහි පරතෙරට ගියාහු පද හදාරන්නාහු ව්‍යාකරණ හදාරන්නාහු ලෝකායත (විතණ්ඩවාදශාස්ත්‍ර) මහාපුරුෂ ලක්‍ෂණයෙහි අනූනයහ’යි, වීතරාග හෝ රාගවිනයට (රාගය දුරැලීමට) පිළිපන්නාහු හෝ වෙති, වීතදෝස හෝ දොස විනයට පිළිපන්නාහු හෝ වෙති, වීතමෝහ හෝ මෝහ විනයට පිළිපන්නාහු හෝ වෙති, ශ්‍රද්ධාසම්පන්නයහ, ශීල සම්පන්නයහ, සමාධිසම්පන්නයහ, ප්‍රඥාසම්පන්නයහ, විමුක්තිසම්පන්නයහ, විමුක්තිඥානදර්‍ශන සම්පන්නයහ”යි ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති වර්‍ණනා කෙරෙති, ප්‍රශංසා කෙරෙත්, මෙසෙයින් දක්ෂිණාර්භයෝ ථොමනය කෙරෙත් නුයි “ආසිංසන්ති ථොමයන්ති” යනු වේ.
අභිජප්පන්ති යනු: රූපප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ගන්ධප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රසප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති ......බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් නුයි ‘ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති’ යනු වේ. ජුහන්ති යනු: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් යහන්ගේ පහන්තෙල් දානය කෙරෙති, දෙති, යදිති, පරිත්‍යාග කෙරෙත් නුයි. ‘ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජූහන්ති’ යනු වේ.
පුණ්ණකා’ති භගවා : ‘පුණ්ණක’ යී බුදුහු ඒ බමුණු නමින් ආලපනය කෙරෙත්. භගවා යනු: තෙල ගෞරවාධි වචන යැ ...භගවත් යී ‘පුණ්ණකා ති භගවා’ යනු වේ.
කාමාභිජප්පන්ති පටිච්ච ලාභං යනු: රූප ප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, කැමැති වෙති, ඉතා කැමැති වෙත් නුයි ‘කාමාභිජප්පන්ති පටිච්ච ලාභං’ යනු වේ.